ශ්‍රී ලංකාවෙන් ලැබුණු ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ගැන ඉන්දීය අගමැතිගේ සතුට

ශ්‍රී ලංකාවෙන් ලැබුණු ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ගැන ඉන්දීය අගමැතිගේ සතුට

විදෙස් නායකයෙකු වෙනුවෙන් මෙරටින් පිරිනමන ඉහළම සම්මානය වන ‘මිත්‍ර විභූෂණ’ සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවයි.

එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක්වූ ඉන්දියානු ජනතාට ලැබුණු සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තම ආචාරය පුදකරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමහ අද (05) ජනාධිපති කාර්යාලයේදී පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

ජනතාවගේ නිර්භීතභාවය සහ ධෛර්යය පිළිබඳව තමා දැන සිට හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව යළි ගොඩනැගෙනු ඇති බවට තමා විශ්වාස කරන අතර ශ්‍රී ලංකාව නැවත ප්‍රගතියේ මාවතට් ප්‍රවිෂ්ට වී සිටිනු දැක තමා සතුටට පත්වන බවද නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහ්ගේ පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරාගැනීම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ පිළිබිඹුවක් වන බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පළමු විදෙස් මිතුරා වන්නට තමන්ට අවස්ථාව ලැබුණු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතියේ සිට ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම දක්වා දෙරට අතර ඇති වූ සහයෝගිතාවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට ලැබෙනු ඇති බව ද ඉන්දේය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණ ව්‍යාපෘතියට ද ඉන්දියාවේ සහාය ලබාදෙන බවද, ජනතාවගේ ආර්ථික හා සමාජයීය දියුණුව වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.4ක ප්‍රදානයක්ද ලබා දීමට තමා කටයුතු කරන බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ගොවීන්ගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණය ඉදිකිරීමට ඉන්දියානු රජය සහය ලබාදුන් බවයි සඳහන් කර ඇත්තේ.

Share This