ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අමෙරිකාවේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අමෙරිකාවේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකානු එක්සත් ජනපදය එකඟතාවය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අපනයන වෙළෙඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය ප්‍රකාශ කළ බව සඳහන්.

ජනාධිපති ලේකම් අචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය අතර අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම කරුණු සඳහන් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද අමෙරිකානු තානාපතිවරිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත පිළිගැන්වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බවද තානාපතිනිය ප්‍රකාශ කළ බව සඳහන්.

වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙළට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද අමෙරිකානු එක්සත් ජනපදය සහතික වී තිබෙනවා.

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබාදිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් අමෙරිකාව මෙහිදී එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට ද සහයෝගය දක්වන බවද මෙහිදී අමෙරිකාව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This