ෂෙල් සහ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ සිවිල් වැසියන් 25 ක් මරුට -102කට තුවාල

ෂෙල් සහ ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ සිවිල් වැසියන් 25 ක් මරුට -102කට තුවාල

යුක්‍රේනයේ අවම වශයෙන් සිවිල් වැසියන් 127 දෙනෙකු පමණ ෂෙල් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාරවලට ලක්ව තිබෙන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසනවා

මෙයින් 25 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ

………………………………………..

එක්සත් රාජධානියේ ගුවන් යානාවලට රුසියාව ගුවන් සීමාවන් පනවයි -UPDATE

Feb 25, 2022 at 15:45

රුසියාව එක්සත් රාජධානියට සම්බන්ධ සියලුම ගුවන් යානාවලට තම ගුවන් සීමාවට ඇතුළුවීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

යුක්‍රේනය ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් එක්සත් රාජධානිය විසින් රුසියාවේ Aeroflot ගුවන් සමාගමේ ගුවන් යානා එක්සත් රාජධානියට පැමිණීම නැවැත්වීමෙන් පසුවයි

රුසියානු ගුවන් සේවා අධිකාරිය පවසන්නේ එක්සත් රාජධානියට සම්බන්ධ හෝ ලියාපදිංචි වූ සංවිධානයකට අයත් බදු දී ඇති හෝ ක්‍රියාත්මක වන ගුවන් යානා සඳහා රුසියානු ගුවන් අවකාශය භාවිතා කිරීම සම්බන්ධයෙන් සීමාවන් හඳුන්වා දී ඇති බවයි.

 

……………………………………………..

යුක්‍රේනයේ සිවිල් වැසියන්ගෙන් එරට ආරක්ෂක බලකාය කරන ඉල්ලීම -UPDATE

 Feb 25, 2022 at 15:25

යුක්‍රේනයේ ආරක්ෂක බලකාය නැවතත් ඉල්ලා තිබෙන්නේ සියලුම සිවිල් වැසියන්ට ඔවුන්ගේ වයස නොසලකා ආරක්ෂක බලකාය සමග එක්වන ලෙසයි.

යුක්‍රේන හමුදාපති යූරි ගලුෂ්කින් පවසා තිබෙන්නේ “ඔබේ විදේශ ගමන් බලපත්‍රය සහ හැඳුනුම් පත් අංකය පමණක් “රැගෙන එන්න යනුවෙනුයි.

ආයුධ දරා සිටිය හැකි සියලුම පුරවැසියන්ගෙන් තම මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙසයි වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසන්නේ “මම යුරෝපීය යුද්ධයක් අවුලුවන්නේ නැත. නමුත් මම කරන්නේ යුක්‍රේනයට සෑම විදියකින්ම  සටන් කිරීමට උපකාර කරන බවයි

එමෙන්ම ඔහු තවදුරටත් පවසන්නේ රුසියාව යුක්‍රේනයෙන් පසු නොනවතින බවත් එබැවින් අපි සියල්ලෝම ඔහුට එරෙහිව නැගී සිටිය යුතු බවත්ය

 

……………………………………………

අගමැති බොරිස් ජොන්සන්ගෙන් යුක්‍රේන ජනපතිට පොරොන්දුවක්-UPDATE

 Feb 25, 2022 at 13:45 

 

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සමග සාකච්ඡා පැවැත්වූ බවයි.

ට්විටර් පණිවුඩයක් තබමින් යුක්‍රේන ජනපති  පවසා තිබෙන්නේ ශක්තිමත් සම්බාධක සහ යුක්‍රේනයට වෙන කවරදාටත් වඩා හවුල්කරුවන්ගේ වැඩි සහයෝගයක් අවශ්‍ය බවයි

දෙරට අතර ඇතිවූ ඇමතුමේදී එක්සත් රාජධානිය යුක්‍රේනයට කැමැත්තෙන් සිටින බවත් එහි හමුදාවන්ගේ නිර්භීතකම ගැන ප්‍රසාදයෙන් පිරී සිටින බවත් අගමැති බොරිස් ජොන්සන් යුක්‍රේන ජනපතිවරයාට පවසා තිබෙනවා.

ජනපතිවරුන් දෙදෙනා රුසියාවට සම්බාධක පැනවීම සහ යුක්‍රේන රජයට ප්‍රායෝගික සහයෝගය ලබා දීම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

යුක්‍රේනයටද විශාල පාඩු සිදුවී ඇති නමුත් රුසියාවට ද විශාල පාඩු සිදුවී ඇති බව ජනාධිපති සෙලෙන්ස්කි අගමැති බොරිස් ජෝන්සන්ට පවසා තිබෙන බවද සඳහන්

රුසියාවේ යුද විරෝධී විරෝධතා දිරිමත් කරන ලෙස ජනාධිපති සෙලෙන්ස්කි බටහිර නායකයින්ගෙන් මේ අතර ඉල්ලා සිටිනවා.

මෙහිදී අගමැති බොරිස් ජොන්සන් ඔහුට කළ හැකි සියල්ල කිරීමට පොරොන්දු වී තිබෙනවා

එමෙන්ම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන නායකයාට පවසා තිබෙන්නේ  පුටින් අසාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරන අතර මෙම  අර්බුදය එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන අරමුණක් කොටගෙන ක්‍රියා කරන බවයි

………………………………………….

යුක්‍රේන -රුසියා අතර සිදුවූ වෙඩි හුවමාරුව අන්තර්ජාලයට -UPDATE (VIDEO)

Feb 25, 2022 at 10:55

යුක්‍රේන හමුදාව විසින් ඊසානදිග සුමි නගරයේ යුක්‍රේන ආරක්ෂකයින් සහ රුසියානු ප්‍රහාරකයින් අතර වෙඩි හුවමාරුවක් යැයි පවසන වීඩියෝ පට ප්‍රකාශයට පත් කර තිබෙනවා

සුමි නගරය රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 30 (සැතපුම් 19) ට වඩා අඩු දුරින් පිහිටි 260,000 කට වැඩි ජනගහනයක් ජිවත්වන නගරයක් ලෙසයි සැලකෙන්නේ

ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී Dmytro Zhyvytsky පැවසුවේ විශාල රුසියානු හමුදා රථ පෙළක් බටහිර දෙසින් සුමි නගරය පසුකර කියෙව් අගනුවර දෙසට ගමන් කරන බවයි.

අසල පිහිටි කොනොටොප් නගරය දැන් වටකර ඇති බවද ඔහු සඳහන් කරනවා.

යුක්‍රේනයේ  රාජ්‍ය දේශසීමා ආරක්ෂක සේවය පවසන්නේ ගිනිකොනදිග Zaporizhzhya කලාපයට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල වූ බවයි.

මෙයින්  දේශසීමා ආරක්ෂකයින් තුවාල ලැබූවන් අතර සිටින බවයි පැවසෙන්නේ

…………………………………………………….

එක්සත් ජනපදය පුටින්ව සෘජුවම ඉලක්ක කර ගැනීමේ සූදානමක් -UPDATE

Feb 25, 2022 at 10:20

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන රජය පෙරලා දැමීමට උත්සාහ දරමින් සිටින බව තමාට හැඟී යන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.

එමෙන්ම තත්ත්වය උත්සන්න වුවහොත් පුටින් මහතා සෘජුවම ඉලක්ක කර ගැනීම සඳහා දැනට පවතින එක්සත් ජනපද සම්බාධක පුළුල් කිරීමේ හැකියාව තවමත් පවතින බවයි බ්ලින්කන් මහතා සඳහන් කරන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ස්ථාවරය නැවතත් ඔහු අවධාරණය කරනවා

බ්ලින්කන් මහතා වැඩිදුරටත් කියා සිටින්නේ උතුරු, නැගෙනහිර සහ දකුණේ සිට ප්‍රහාරයක් දියත් කිරීමත් සමග  කියෙව් අගනුවරට සහ යුක්‍රේනයේ අනෙකුත් ප්‍රධාන නගරවලට පහර දීම රුසියානු සැලැස්මේ කොටසක් බවයි.

යුක්‍රේනයෙන් ඔබ්බට රුසියානු ප්‍රහාරයක් එල්ල වීමට හැකියාවක් පවතින බවද බ්ලින්කන් මහතා පවසනවා

නේටෝවේ එක් සාමාජිකයෙකුට පහර දීම නේටෝවේ සියලුම සාමාජිකයින්ට එල්ල කරන ප්‍රහාරයක් බවත් එම ප්‍රහාරය ගැන   අනතුරු අඟවමින් සිය නේටෝ සහචරයින් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම නැවතත් අවධාරණය කරනවා

 

 

…………………………………………………………….

යුක්‍රේන නායකයාගේ ඉල්ලීමකට ප්‍රංශ ජනපතිගෙන් පුටින්ට දැනුම් දීමක්-UPDATE

 Feb 25, 2022 at 09:50

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමතූ බව ප්‍රකාශ කර තිබෙනවා

යුක්‍රේන නායකයා රුසියානු ජනපති පුටින් හා සම්බන්ධ වන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි ඔහු සඳහන් කරන්නේ

මැක්‍රොන් පවසන්නේ තමන් පුටින්ට දුරකථන ඇමතුමක් දී හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටි බවත් එම ඇමතුම විවෘතව  සහ සෘජුව ගත් එකක්  බවත්ය.

යුරෝපා සංගමය රුසියාවට එරෙහිව නව සම්බාධක ප්‍රකාශයට පත් කර ඇති බව යුරෝපීය කොමිසමේ සභාපති Von der Leyen සඳහන් කරනවා

රුසියානු සම්බාධක සඳහා මූල්‍ය අංශය, බලශක්තිය, ප්‍රවාහනය සහ වීසා ඇතුළු ක්ෂේත්‍ර ඉලක්ක කරනු ඇති බව බ්‍රසල්ස් හි අවසන් වූ රැස්වීමකින් පසුව ඇය පවසනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසන්නේ යුක්‍රේනයට යුරෝ මිලියන 300 (ඩොලර් මිලියන 336; පවුම් මිලියන 251) ආධාර මෙන්ම යුධ උපකරණ ද පිරිනමන බවයි.

 

………………………………………

රුසියානු ගුවන් යානයකට පහර දී බිම දමයි  -මහල් ගොඩනැගිල්ලකට කඩා වැටෙයි UPDATE (VIDEO)

Feb 25, 2022 at 09:25

රුසියානු ගුවන් යානයක් Kyiv හි Darnytskyi දිස්ත්‍රික්කයට ඉහළින් වෙඩි තබා බිම හෙළා ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු තහවුරු කර තිබෙනවා.

නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයෙකු වන ඇන්ටන් හෙරෂ්චෙන්කෝ පවසන්නේ  Koshytsia Street හි මහල් නිවාසයට  යානය කඩා වැටී ඇති බවයි.

ප්‍රාදේශීය වාර්තා පවසන්නේ  එම මහල් නවයක නේවාසික ගොඩනැගිල්ලක් ගිනිගෙන ඇති බවයි.

අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන අගනුවර මීට පෙර පිපිරීම් කිහිපයක් පිළිබඳ වාර්තා වී ඇති අතර කියෙව් අසල නගරයක් වන බ්‍රෝවාරි හි හමුදා කඳවුරකට රුසියානු කෲස් මිසයිල ප්‍රහාරයක්ද  එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

යුක්‍රේන  හමුදාව මෙතෙක් මේ පිළිබඳව අදහස් දක්වා නොමැති බවයි  විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

 

………………………………………………………..

යුක්‍රේන චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයේ පාලනය රුසියානු හමුදා අතට

Feb 25, 2022 at 07:52

ලොව දරුණුතම න්‍යෂ්ටික ආපදාව සිදු වූ උතුරු යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය මේ වනවිට රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වනවා.

පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ මෙම න්‍යෂ්ටික බලාගාරය මහා විනාශයක් සිදු කරමින් පිපිරීමට ලක්වූයේ 1986 වසරේදියි.

රුසියානු හමුදා විසින් තම රට ආක්‍රමණය කළ හොත් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය රුසියානු හමුදාව ඔවුන් සතුකර ගැනීමට උත්සාහ කරන බවට පසුගිය බ්‍රහස්පතින්දා යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු ඇඟවනු ලැබුවා.

රුසියාව යුද්ධය තව දුරටත් තීවෘ කළ හොත් 1986 වසරේදී සිදුවූ චර්නොබිල් ඛේදවාචකය 2022 වසරේදීත් යළිත් වරක් සිදුවිය හැකි බවයි විදෙස් විචාරකයින් මත පල කරන්නේ.

Update – Friday, February 25, 2022, 08.24 AM
——————————————————————

රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේනයේ සිය ගණනක් ජීවිතක්ෂයට

රුසියානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේන පුද්ගයින් 137 දෙනෙකු පමණ මියගොස් ඇති බවට යුක්‍රේන රජය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාර වලින් මියගොස් ඇති පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.

රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බව ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර රුසියානු හමුදාවේ ඉලක්කය තමන් හා තම පවුලේ සාමාජිකයින් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තමන් මේ වන විටත් රැඳී සිටින්නේ කියෙව් අගනුවර “රජයේ නිල නිවාසයේ” බවත් තම පවුලේ සාමාජිකයින් ද යුක්‍රේනයේ සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

Share This