සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවේ

සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවේ

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවුණා.

මෙහි දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ ස්වභාවික දායාද සහ මානව කුසලතා සම්බන්ධයෙන් අගය කරමින් සිය කතාව ආරම්භ කළා.

ඇය පවසා ඇත්තේ ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමඟ සමීපව සම්බන්ධවීමෙන් මෙම ශක්තීන් ගොඩනැගීමේ වැදගත්කමයි.

එසේම ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව ඇය විපක්ෂනායකවරයාට පවසා තිබෙනවා.

ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බවට ද මෙහිදී සීතාරාමන් මහත්මිය අවධාරණය කළ බව විපක්ෂනායක කා‍ර්යාලය සඳහන් කළා.

එසේම 2022 වසරේ අර්බුදය අතරතුර ඉන්දියාව ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක සහයෝගයට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තූතිය පළ කර තිබෙනවා.

තනි ජාතියක් විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් විශාලතම මූල්‍ය ප්‍රදානය එය බවත් මෙහිදී විපක්ෂනායකවරයා සිහිපත් කළ බව විපක්ෂනායක කාර්යාලය පැවසුවා.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දී අත්තේ කාර්මික ප්‍රතිපත්තිය සහ ඩිජිටල් පාලනය සම්බන්ධයෙන් ඉන්දියාවේ ජයග්‍රහණ අගය කරන බවයි.

තවදුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා සාපේක්ෂ ස්ථාවරත්වය තිබියදීත්, ශ්‍රී ලංකාව තවමත් විදේශ සංචිත නැවත ගොඩනැගීම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ දරිද්‍රතාවය අඩු කිරීම ඇතුළු ප්‍රධාන අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සඳහන් කර තිබෙනවා.

විනිවිද පෙනෙන සහ විශ්වාසය පදනම් කරගත් සහයෝගීතාවයේ අවශ්‍යතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම මෙහි දී එකඟ වූ බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කළා.

ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇති අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

 

Share This