සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල්වරිය යළි වැඩ අරඹයි (වීඩියෝ)

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල්වරිය යළි වැඩ අරඹයි (වීඩියෝ)

සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩු ලබා සිටි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පසුගිය 14 වැනිදා සිට යළි සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් සේවක ගැටලුවක් පදනම් කර ගනිමින් ඇයට රාජකාරියට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය දැනුම්දී තිබුණත් ඇය සේවයට වාර්තා කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

ජාතික සත්වෝද්‍යානයතුළ පැවති වැඩවර්ජනය සහ එම දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් දින 14 ක් තුළ පරීක‍ෂණයක් පවත්වා තමාට රාජකාරි කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කර දෙන ලෙස එහි අධ්‍යක‍ෂ ජෙනරාල් ශර්මිලා රාජපක‍ෂ මහත්මිය පසුගියදා වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබූ අතර, එසේ නොවන්නේ නම් ඇය තනතුරෙන් ඉල්ලා අස්වෙන බව පවසමින් වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යෙමු කරමින් දැනුවත් කර තිබුණා.

ඒ අතරතුර දෙහිවල සත්වෝද්‍යානයේ පොදුජන සේවක සංගමයේ සේවක පිරිසක් ශර්මිලා රාජපක‍ෂ මහත්මියට එරෙහිව පසුගියදා විරෝධතාවක ද නිරත වුණා.

අනතුරුව ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ නම් තම තනතුරින් ඉවත් වන බව සඳහන් කරමින් අධ්‍යක‍ෂ ජනරාල්වරිය සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩු ලබා ගෙන රාජකාරියට වාර්තා කළේ නැහැ.

කෙසේ නමුත් වංචා දුෂණවලට සම්බන්ධ කාන්තාවක් අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල් ධුරයට පත් කිරීමට වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා උත්සහ දරණ බවත් එම අමාත්‍යවරයා විසින් ශර්මිලා රාජපක‍ෂ මහත්මියගෙන් පෞද්ගලික අමනාපයක් පිරිමසා ගැනීමේ අරමුණින් දුෂිතයින් ආරක‍ෂා කිරීමට කටයුතු කරන බවත් සත්වෝද්‍යාන අභ්‍යන්තර අරංචි මාර්ග පවසනවා.

Share This