සමාජ මාධ්‍ය හරහා ත්‍රිරෝද රථ විකුණා කොල්ල කෑමේ යෙදුන කල්ලියක් ලෝලුවාගොඩින් අල්ලයි (VIDEO)

සමාජ මාධ්‍ය හරහා ත්‍රිරෝද රථ විකුණා කොල්ල කෑමේ යෙදුන කල්ලියක් ලෝලුවාගොඩින් අල්ලයි (VIDEO)

සමාජ මාධ්‍ය භාවිත කරමින් ත්‍රිරෝද රථ අලෙවි කර ඒවා යළි පැහැර ගැනීමට කටයුතු කළ සංවිධානාත්මක කල්ලියක සමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටදෙණියාව පොලිසිය කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන් එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළ කරමින් ත්‍රීරෝද රථ අලෙවිකර ගැනුම්කරු විසින් එම ත්‍රීරෝද රථ රැගෙන යන අවස්ථාවේ මග හරස්කර එම ත්‍රිරෝද රථ කොල්ල කෑමේ නිරත වූ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු කොටදෙණියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලක බාල සහෝදරයා විසින් අදාළ ත්‍රිරෝද රථ අලෙවි කිරීම සිදු කර ගෙන ගොස් ඇති අතර ඔහුගේ වැඩිමල් සහෝදරයා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු එක්ව එම ත්‍රිරෝද රථ මංකොල්ල කෑම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ දිනයේත් ත්‍රිරෝද රථයක් විකුණා එය මංකොල්ලකෑමට ලක් කරන අවස්ථාවේ මාඋත්සව පාලම අසලදී පොලිස් ජංගම රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ මංකොල්ල කෑමට සම්බන්ධ වැඩිමල් සහෝදරයා ඇතුළු තිදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් එහි සිටි තවත් පුද්ගලයෙකු අදාළ මංකොල්ලය සඳහා ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පලා ගොස් තිබූ අතර පසුව අදාළ මෝටර් රථය මහමග දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා.

අදාළ මෝටර් රථයද කුලී පදනම මත ලබා ගත් එකක් වන අතර මේ වන විට එම සංවිධානාත්මක කල්ලියේ තිදෙනෙකු , මංකොල්ලය සඳහා පැමිණි අදාළ මෝටර් රථය මෙන්ම , විකුණා දැමූ ත්‍රිරෝද රථයක් සහ එය විකිණීමෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 02 ක මුදලක් පොලිස් භාරයට ගැනීමටයි කොටදෙණියාව පොලිසිය කටයුතු කර ඇත්තේ.

එලෙස පොලිස් අත්අඩංගුවට පත් වූවන් මාලදෙනිය, නාල්ල හා ලෝලුවාගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන බව කොටදෙනියාව පොලිසිය සඳහන් කලා.

පළාගිය අනෙක් සැකකරු සහ ත්‍රිරෝද රථ විකිණීමේ නිරත වූ බාල සහෝදරයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Share This