සාකච්ඡා සහ රැස්වීම් 200 ක් – G20 ගැනයි මේ

සාකච්ඡා සහ රැස්වීම් 200 ක් – G20 ගැනයි මේ

G20 රටවල් නියෝජනය කරමින් මෙතෙක් පැවති විශාලතම නියෝජිත කණ්ඩායම් රැස්වීම ලබන සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවැත්වීමට නියමිතයි.

ඒ සමග ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රධාන සාකච්ඡා සහ රැස්වීම් 200ක් ඉන්දියාවේදී පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

G20 සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දියාව විශේෂයෙන් හරිත සංවර්ධනය, දේශගුණික මූල්‍ය සහ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) මෙන්ම ලෝක සාමය පිළිබඳ ප්‍රගතිය වේගවත් කිරීම යන ක්ෂේත්‍රවල තිරසාරභාවය වෙනුවෙන් උත්සාහයන් රැසක් ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල අර්බුද වෙනුවෙන් වූ විශේෂ සමුළුව පසුගිය පෙබරවාරි මුල් සතියේ නවදිල්ලියේදී සංවිධානය කර තිබුණු අතර, G20 දූෂණ විරෝධී ක්‍රියාකාරී කණ්ඩායමේ (ACWG) පළමු රැස්වීම මාර්තු 01 සිට මාර්තු 03 දක්වා ගුරුග්‍රාම් හි පැවැත්වුණා.

“එක් පෘථිවියක් • එක් පවුලක් • එක් අනාගතයක්” යන්න මෙවර G20 තේමාව බවට පත්ව තිබෙනවා.

එම තේමාව විසින් මිනිසා, සතුන්, ශාක හා ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු සියලු පෘථිවි ජීවීන්ගේ වටිනාකම සහ විශ්වයේ ඔවුන්ගේ අන්තර් සම්බන්ධිත බව තහවුරු කරනු ලබනවා.

එසේම එම තේමාව තනි පුද්ගල ජීවන රටාව මෙන්ම ජාතික සංවර්ධනය යන දෙඅංශයෙන්ම පාරිසරික වශයෙන් තිරසර සහ වගකීම් සහගත තේරීම් සමග සම්බන්ධ වී ඇති අතර, එය අනාගතයක් වෙනුවෙන් ගෝලීය පරිවර්තනීය ක්‍රියාවලියකට ආරාධනා කරනු ලබනවා.

හරිත සංවර්ධනය සහ දේශගුණික මුල්‍යකරණය සම්බන්ධයෙන් තාක්‍ෂණය සම්බන්ධ කරගනිමින් දේශගුණික විපර්යාස සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීම මෙහිදී ඉන්දියාවේ ඉලක්කය වී තිබෙනවා.

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ජාතීන් පොසිල ඉන්ධන වෙතින් පුනර්ජනනීය ඉන්ධන වෙත බලශක්ති සංක්‍රාන්තිය සිදුකිරීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට මෙහි අදහසයි.

මෙම ඉලක්ක වෙත අවධානය යොමුකරන ‘ආක්ටික් ආයතනය’ පෙන්වාදී ඇත්තේ, ‘ආක්ටික් ප්‍රදේශය’ සහ ලෝකයට එහි බලපෑම කෙරෙහි නැවත අවධානය යොමු කිරීමටද අවස්ථාවක් නිර්මාණය කරදී ඇති බවයි. ‘ආක්ටික්’ යනු ලෝක දේශගුණික වෙනස්කම් සඳහා විශාල ලෙස බලපානු ලබන, එහෙත් මෑත කාලීනව අවධානය අඩුවෙන් යොමුවූ කලාපයකි.

ආක්ටික් සහ හිමාල කලාපයන්, භූගෝලීය වශයෙන් දුරස්ථ වුවද, ලොවට බලපාන පොදු කරුණුවලදී එකිනෙකට සම්බන්ධ වනවා.

ආක්ටික් දියවීම ඉන්දියානු විද්‍යා ප්‍රජාවට හිමාලයේ ග්ලැසියර දියවීම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වනවා.හිමාලය බොහෝ විට ‘තුන්වන ධ්‍රැවය’ ලෙස හඳුන්වනු ලබන අතර, එය උතුරු සහ දක්ෂිණ ධ්‍රැවවලින් පසු ලොව විශාලතම මිරිදිය සංචිත පවතින ස්ථානයයි.

G20 රටවල් අටක්, එනම් චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය ආක්ටික් කවුන්සිලයේ නිරීක්ෂකයන් වනවා.

G20 සාකච්ඡා මේසයේදී චීනය සහ රුසියාව වැනි රටවල නියෝජිතයන් විවෘතව සිය ප්‍රතිචාරයන් බටහිරට එරෙහිව නැගීමට උත්සාහ කරන ලද නමුත්, ඉන්දියාවේ මැදිහත්වීම මත එම බොහෝ අවස්ථා මගහැරුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, රුසියානු ආක්‍රමණය විවේචනය කරන ලද G20 කණ්ඩායමේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීම රුසියාව සහ චීනය යන රටවල් දෙකම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙවර G20 රැස්වීම් සඳහා ඉන්දියාවේ විශේෂ ආරාධිත ආරාධිත රටවල් වන්නේ බංග්ලාදේශය, ඊජිප්තුව, මොරිෂස්, නෙදර්ලන්තය, නයිජීරියාව, ඕමානය, සිංගප්පූරුව, ස්පාඤ්ඤය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. G20 හි ආරාධිත අන්තර්ජාතික සංවිධාන වන්නේ එක්සත් ජාතින්, අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය,අන්තරජාතික කම්කරු සංවිධානය, ආසියාන්, ආසියානු සංවර්ධන බැංකුව, WTO, FSB, OECD, AU Chair, NEPAD Chair, ISA සහ CDRI වැනි ලොව ප්‍රමුඛ ආයතනයන්ය.

Share This