සිංගප්පූරුවේ ආයෝජන වැඩි වශයෙන් ඉන්දියාවට

සිංගප්පූරුවේ ආයෝජන වැඩි වශයෙන් ඉන්දියාවට

ව්‍යාපාර කිරීමට පහසු ස්ථානයක් ලෙස ප්‍රකට සිංගප්පූරුවේ ජීවත්වන ඉන්දියානුවන් නිසා දෙරට අතර සබඳතා මෙන්ම වෙළඳ ගනුදෙනු ද ශක්තිමත් වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පුළුල් බදු ගිවිසුම් ජාලයක්, ගුණාත්මක මානව ප්‍රාග්ධනය, භූ දේශපාලන ස්ථාවරත්වය, ලෝකය සමග පවතින ධනාත්මක සම්බන්ධතා මෙන්ම දියුණු යටිතල පහසුකම් ඊට හේතුවී ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

2021-22 මුදල් වර්ෂය සඳහා දෙරට අතර වෙළඳාම ඩොලර් බිලියන 30.11 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිංගප්පූරුව ඉන්දියාවේ 6 වැනි විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර ඉන්දියාවේ සමස්ත වෙළඳාමෙන් සියයට 2.9 ක කොටසකට සිංගප්පූරුව දායක වනවා.

2021 වසර සඳහා සිංගප්පූරුව වෙත ඉන්දියානු විදේශීය සෘජු ආයෝජන ගලා ඒම ඩොලර් බිලියන 18.41 ක් වූ අතර 2021-22 වසර තුළදී සිංගප්පූරුවෙන් ඉන්දියාවට විදෙස් ප්‍රාග්ධන ගලා ඒම ඩොලර් බිලියන 15.87 ක් බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරුව මේවනවිට ඉන්දියාවේ 2 වන විශාලතම ආයෝජකයා බවට පත්ව තිබෙනවා.

ඒ අනුව 2000 අප්‍රේල් සිට 2022 සැප්තැම්බර් දක්වා සිංගප්පූරුව ඉන්දියාවේ සිදු කර ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 140.99 ක්.

Share This