
සියම් දහම් පාද යාත්‍රාවට එක් වූ තායි භික්ෂූන් වහන්සේ ස්වර්ණවාහිනි පරිශ්‍රයට
ස්වර්ණවර්ණ පොසොන් සැමරුමට සමගාමීව පුරා දින 20 ක පමණ කාලයක් ගම් දනව් නගර පසු කරමින් සැපැමිණි සියම් දහම් පාද යාත්‍රාවේ සාමාප්තිය සනිටුහන් කිරීම පසුගියදා මහනුවරදී සිදු කෙරුණා.
ඒ අනුව මෙම පාද යාත්‍රාවට සහභාගී වූ පූජණීය තායිලන්ත මහා සඟරුවන අද රාත්‍රියේ මෙරටින් පිටත්ව යෑමට නියමිතයි.
ඊට මත්තෙන් උන්වහන්සේ අද පෙරවරුවේ ස්වර්ණවාහිනි පරිශ්‍රයට වැඩම කළා.
ස්වර්ණවර්ණ පොසොන් සැමරුම සහ සියම් ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 70 වසරක අභිමානය වෙනුවෙන් සංවිධාන කෙරුණු සියම් දහම් පාද යාත්‍රාව පසුගිය පොසොන් පුර පසලොස්වක පොහොය දිනයේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමෙන් ගමන් ආරම්භ කළා.
පුරා දින 20 ක පමණ කාලයක් ගම්දනව් නගර පසුකරමින් මෙකී විසල් පාද යාත්‍රාවට එක්වූ සුපේෂල ශික්ෂාකාමී තායි භික්ෂූන් වහන්සේ කොළොම්තොට කරා සැපැමිණියේ මඟ දෙපස රැස්ව සිටි සැදැහැති ජනතාවගේ නොමසුරු ගෞරවයට හා දායකත්වයෙන් පිඳුම් ලබමින්.
එලෙස කොළොම්තොට කරා සපැමිණි සියම් දහම් පාද යාත්‍රාවේ භික්ෂුන් වහන්සේ අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ඔරියන් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට වැඩම කළා.
ඒ මේ පාද යාත්‍රාව පුරා උන්වහන්සේට සවියක් මෙන්ම ශක්තියක් වූ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයට කෘතගුණ දැක්වීමට සහ ආශිර්වාද කිරීම මූලික කර ගිනිමින්.
ස්වර්ණවාහිනි පරිශ්‍රයට වැඩම කළ උන්වහන්සේට උදෑසන දානය, ගිලන්පස ඇතුළු පිරිකර පරිශ්කාර පූජා කරන්නට කටයුතු කළා.
මෙම අවස්ථාව සඳහා ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා.
සියම් දහම් පාද යාත්‍රාවට සම්බන්ධ වූ පූජනීය තායි භික්ෂූන් වහන්සේ අද රාත්‍රියේ යළි තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.