සියයකට පමණ ජීවිත අහිමි කළ ‘සංක්‍රමණික ජාවාරම්කරුවෙක්’ හසුවේ

සියයකට පමණ ජීවිත අහිමි කළ ‘සංක්‍රමණික ජාවාරම්කරුවෙක්’ හසුවේ

රහසිගත සංක්‍රමණික බෝට්ටු ගමන් නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉතාලි අගමැතිනි Giorgia Meloni යුරෝපා සංගම් ආයතනවලින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ බෝට්ටුවක් ගිලී යාමෙන් පසු ඉතාලි අගමැතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

බෝට්ටුව ගිලී යාමෙන් ළමුන් ඇතුළු 100කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට විශ්වාස කෙරෙන අතර මේ වනවිට 63 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මීට දින කිහිපයකට පෙර තුර්කියේ සිට පිටත් වූ මෙම බෝට්ටුවේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, සෝමාලියාව, සිරියාව, ඉරාකය සහ ඉරානය යන රටවල පුද්ගලයින් සිටි බවයි පැවසෙන්නේ

සංක්‍රමණික ජාවාරම් චෝදනා මත දිවි ගලවා ගත් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවද එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.

යාත්‍රාවේ සිටි බොහෝ දෙනෙක් පාකිස්ථාන ජාතිකයන් යැයි සැලකෙන අතර එරට අගමැති Shehbaz Sharif ප්‍රකාශ කර තිබෙන්නේ මියගිය අය අතර පාකිස්ථාන ජාතිකයන් වැඩි පිරිසක් සිටින බවට විශ්වාස කරන බවයි.

සරණාගතයින්ට සහ සංක්‍රමණිකයන්ට උපකාර කිරීමට එකතුවෙන ලෙස ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අදහස් දක්වමින් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනෙකුත් රටවල්වලින් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඉතාලි අගමැතිනි මෙලෝනිගේ දක්ෂිණාංශික ආණ්ඩුව ඉතාලියේ වෙරළට සංක්‍රමණිකයන් පැමිණීම නැවැත්වීමට පොරොන්දු දී ඇති අතර පසුගිය දින කිහිපය තුළ ගලවාගැනීම් පිළිබඳ නීති දැඩි කරමින් නව නීතියක්ද ගෙන ආ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අයහපත් කාලගුණය තුළ ගල් මත ගැටීමෙන් මෙම යාත්‍රාව ගිලී ගොස් ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This