හම්බන්තොට වන අලි ගම්මාන වලින් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සාර්ථකව ඉදිරියට

හම්බන්තොට වන අලි ගම්මාන වලින් ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් සාර්ථකව ඉදිරියට

හම්බන්තොට වන අලි මෙහෙයුම යටතේ පසුගිය 07 දා රාත්‍රී වන අලින් 34 දෙනෙකු සාර්ථකව වන අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළු කිරීමෙන් පසුව නැවතත් හම්බන්තොට, බැරගම, ගල්ලවිල,මයුරපුර,කළුවරගස්වැව ඇතුළු ගම්මාන කීපයක තනිවී සිටින තවත් වන අලින්, වන අලි කළමනාකරණ රක්ෂිතයට රැගෙන යාම සඳහා එම ප්‍රදේශ වල වන අලින් සිටින ස්ථාන හදුනාගැනීමේ නිරීක්ෂණ මෙහෙයුමක් ඊයේ(09) සවස සිට ක්‍රියාත්මක කළා.

මෙම මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්,සිවිල් ආරක්ෂක බලාකයේ නිලධාරින් මෙන්ම ප්‍රදේශවාසින් ගේද සහයෝගයෙන් ක්‍රියාත්මක කළ අතර ඒ අනුව එම ප්‍රදේශවල සිටින වන අලින්ද, වන අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළු කිරීමේ මෙහෙයුම ඊයේ සවස සිට ක්‍රියාත්මකයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, අම්බලන්තොට හා සූරියවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජන ජීවිතවලට මෙන්ම කෘෂි කර්මාන්ත කටයුතු වලට මහත් බාධාවක්ව ප්‍රදේශයේ ගම්මාන රැසක විසිර සිටින වන අලින් හේතුවෙන් ඇතිව තිබෙනවා.

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය (MER) වෙත රැගෙන යෑම සඳහා පසුගිය 01 දා සවස 3ට පමණ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන කීපයකින් ආරම්භ කෙරුණු මෙහෙයුම සාර්ථක වීම නිසා තවදු‍රටත් ක්‍රියාත්මක කෙරුණා.

මේ අකාරයෙන් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියන්ගස්තොට, රිදියගම, අහබඩවිල යන ප්‍රදේශ තුලින් ආරම්භ කෙරුණු වන අලි පලවා හැරීමේ මෙහෙයුම පසුව හබරත්තවල, මදුනාගල ප්‍රදේශ දක්වාත් ඉන් අනතුරුව තැලවිල්ල, වල්සපුගල,අන්දරවැව දක්වාත් ක්‍රියාත්මක කළා.

පසුව එම ප්‍රදේශවල සිට ඉදිරියට රැගෙන එනු ලැබූ වන අලි 34 දෙනෙකු හම්බන්තොට නාගරවැව අධිවේගී මාර්ගයේ වන අලින්ට හුවමාරු වීම සඳහා තනා ඇති ස්ථානය ආසන්නයේ ඇති කුඩා වන ලැහැබකට කොටුකර තැබීමට කටයුතු කළා.

අනතුරුව පසුගිය 07 දා රාත්‍රී එම වන අලි 34 දෙනා සාර්ථකව වන අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළු කිරීමට හැකිවූ බව වනජීවී නිලධාරීන් පැවසුවා.

 

Share This