හයිටි රාජ්‍යය ගැන මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක්

හයිටි රාජ්‍යය ගැන මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් වාර්තාවක්

හයිටි රාජ්‍යයේ පවතින ගැටුම් තවදුරටත් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක Marta Hurtado විසින් සිදු කළ ප්‍රකාශයක් දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ එරට ගැටුම් උත්සන්න අතට පත්ව ඇති බවයි.

හයිටි හි අගනුවර ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිය පාලනය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මෙම වසර ආරම්භයේ සිටම මාර්තු 15 දක්වා වූ කාලය තුළ පුද්ගලයින් 531 දෙනෙකු මියගොස් ඇති බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම අදාළ ගැටුම් හේතුවෙන් හයිටි රාජ්‍යයේ තවත් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර 277 දෙනෙකු පැහැර ගැනීමටද ලක්ව ඇති බව සඳහන්.

තම පාලනය ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුතුව කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාරවලට අමතරව ඔවුන් විසින් ජනතාවට සිදු කරන දඬුවම් කිරීම්, කප්පම් මුදල් ලබා ගැනීම් මෙන්ම කැරලිකරුවන් විසින් ගැහැණු ළමුන් පැහැරගෙන ගොස් ලිංගික හිංසනයන්ට ලක් කිරීමේ සිද්ධීන් ද වාර්තා වන බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

හයිටි රාජ්‍යයේ හටගෙන ඇති මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ පුද්ගලයින් 160,000 දෙනෙකු පමණ අවතැන්ව සිටින අතර ඉන් හතරෙන් එකක පමණ පිරිසක් තාවකාලික නිවාසවල ජීවත් වන බව ද සඳහන්.

මීට අමතරව හයිටි රාජ්‍යය තුළ ආහාර මිල ගණන්වල සිඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර ආහාර අනාරක්ෂිතභාවයකට ද එරට ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන්ව ඇත්තේ.

ඒ අනුව රාජ්‍යය තුළ හටගෙන ඇති මෙම බරපතල අනාරක්ෂිතභාවය වහාම විසඳන ලෙස හයිටි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින එම කාර්යාලය හයිටි රාජ්‍යයේ ජනතාව වෙත සහය දක්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම කැරලිකරුවන්ට ආධාර සහ මූල්‍ය සපයන්නන් ඇතුළු වගකිව යුතු සියල්ලන්ටම නීතියේ ආධිපත්‍යය අනුව නඩු පැවරිය යුතු අතර සියලු වින්දිතයන්ගේ සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීමේ අයිතිවාසිකම් සපුරාලිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

Share This