
හැඳුනුම්පත් 1,055,461ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසිලා (VIDEO)
ඉකුත් වසර අවසන් වනවිට ජාතික හැඳුනුම්පත් නිකුත් නොකරණ ලද අයදුම්පත් 1,055,461ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී පැවති බව විගණන වාර්තාවකින් හෙළිව තිබෙනවා.
එම වසර තුළ දෝෂ සහිත ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීමේ අසාමාන්‍ය වැඩිවීමක්ද නිරීක්ෂණය වන බවයි, ඉකුත් වසරට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
නිසි වයස සම්පූර්ණ කළ සෑම පුරවැසියෙකුටම ලියාපදිංචි කළ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු අතරින් එකක්.
එහෙත් මතුවූ ගැටලු කිහිපයක් හේතුවෙන් මේ වන විට එම අරමුණු ඒ අයුරින්ම ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු විගනනය කර 2024 වසරට අදාළව විගනකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අවුරුදු 15 ඉක්මවූ සෑම තැනැත්තෙකුටම හැකිතාක් ඉක්මණින් හැඳුනුම්පතක් නිකුත් කළ යුතු වුවත් 2024 වසරේ ජනවාරි පළමුවැනිදා වන විට ජාතික හැඳුනුම්පත් නිකුත් නොකර ගොඩ ගැසී තිබූ හැඳුනුම්පත් ගණන 1,055,461ක් බවයි.
2024 වසරේ තවත් අයඳුම්පත් 985,209 ක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ලැබී තිබුණා.
ඒ අනුව ලැබී තිබූ මුළු අයඳුම්පත් 2,040,671ක් අතරින් එම වසර තුළ නව ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබුණේ 431,960 ක් පමණයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙයට හේතුව ලෙස දක්වන්නේ පෙර මුද්‍රණ කාඩ්පත්වල හිඟයයි.
මේ ගැටලුව විසඳීමට ටෙන්ඩර් කැඳවා ක්‍රියාමාර්ග ගත්තද දෙපාර්තමේන්තුවට පාලනය කළ නොහැකි හේතු නිසා අදාළ ටෙන්ඩර අවලංගු වූ බව මේ අරභයා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පිළිතුර වී තිබෙනවා.
ඒ අනුව ගැටලුවට පිළියම් ලෙස ඔවුන් තෝරාගෙන තිබෙන්නේ ජාතික හැඳුනුම්පත් වෙනුවට අදාළ මූලික තොරතුරු තහවුරු කිරීමේ ලිපි හැඳුනුම්පත් අයදුම්කරුවන්ට නිකුත් කිරීමයි.
එවැනි ලිපි 588,402 ක ඔවුන් එම වසරේ නිකත් කර තිබුණා.
මේ අතර 2024 ට අදාළ විගණ න වාර්තාවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අදාළ තවත් පුදුමු සහගත සිදුවීමක් වාර්තා කරනවා.
ඒ එම වසර තුළ දෝෂ සහගතව නිකුත් කළ ජාතික හැඳුනුම්පත්වල අසාමාන්‍ය ඉහළ යාමක් වාර්තා වීමයි.
එම වසරේ මෙලෙස දෝෂ සහගත හැඳුනුම්පත් 1129 ක් නිකුත් කර තිබෙනවා.
එහෙත් එසේ වූයේ මුද්‍රණ දෝෂ නිසා ද එසේත් නැතිනම් දොපර්තමේන්තු නිලධාරීන්ගේ නොසැලකින්න නිසාද යන්න අදාළ වාර්තාවේ සඳහන් කර නැහැ.