හිටපු අමාත්‍ය කෙහෙලිය සහ පවුලට අයථා වත්කම් සහ දේපළ ඉපයූ නඩුවේ විභාගය ඔක්. 15 දා

හිටපු අමාත්‍ය කෙහෙලිය සහ පවුලට අයථා වත්කම් සහ දේපළ ඉපයූ නඩුවේ විභාගය ඔක්. 15 දා

රුපියල් මිලියන 98 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද (01) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන 12 ක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති බව සඳහන් කළා.

අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව හදිසියේ අධි චෝදනා පත්‍ර ගොනු කළත් ඊට අදාළ ලේඛන විත්තියට භාරදීමක් නොකරන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය වැරදි පූර්වාදර්ශයක් බව එහිදී සඳහන් කළා.

ඒ අනුව නඩු විභාගයට මුහුණ දීම සඳහා තම සේවාදායකයාට ලේඛන 12 ක් අවශ්‍ය තිබෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන පිළිබඳ සොයා බලා ඒවා කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළා.

විත්තිය විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන මේ වනවිටත් පැවැත්වෙන විමර්ශනවලට අදාළ වන බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ නඩු විභාගය සඳහා එම ලේඛන විත්තියට ඉතා වැදගත් බවයි.

ඒ අනුව අදාල ලේඛන කඩිනමින් විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශ වල කටයුතු කළ සමයේ අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා , ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Share This