
හිටපු ආගමන විගමන පාලකගේ දඬුවම් නියෝගය සැප්තැම්බර් 23 ට කල් යයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී එය ක්‍රියාත්මක නොකර පැහැර හැරීම තුලින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව පසුගිය ජූලි (01) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළා.
ඒ අනුව මීට පෙර අධිකරණය නිවේදනය කළේ අද දිනයේ (24) ඔහුට දඬවම් නියම කරන බවයි.
එහෙත් අද (24) එකී දඬුවම් නියෝගය එළැඹෙන සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා.
ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් අධිකරණයේ හමුවේ ගොනු කළ පෙත්සමින් පවසා තිබුණේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු ඉකුත් රජය සමයේ පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටයි.
මේ තුළින් රටට හිමිවිය යුතු විශාල ආදායමක් රජයට අහිමි වී යන අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් සංවේදී තොරතුරු බාහිර පාර්ශවයන් අතට පත්වීමේ අවදානමක් තිබෙන බවත්, සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත්, වීසා නිකුත් කිරීම ක්‍රමය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම පෙත්සම් විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු මස තහනම් නියෝගයක් නිකුත් කළා.
එමෙන්ම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙසත් දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඔහුට එරෙහි චෝදනා වූයේ එම නියෝග ක්‍රියාත්මක නොකිරීමයි.