හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු 6 කට එරෙහි නඩුව ඔක්. 01 දාට කල් යයි

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු 6 කට එරෙහි නඩුව ඔක්. 01 දාට කල් යයි

ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දිමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.

මෙම පැමිණිල්ල ද (02) කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉදිරියේයි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අගෝස්තු 21 වැනිදා අධි චෝදනා ගොනු කර ඇති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළා.

ඉකුත් අගෝස්තු 21 වැනිදා හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නා.

මේ සම්බන්ධයෙන් ඉකුත් ජනාවාරි 22 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූණා.

පසුව අනුර ප්‍රියදර්ශන මහතා සහ ඒ මහතාගේ බිරිඳ ඇතුළු හය දෙනා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ නඩු පැවරිමෙන් අනතුරුව අධිකරණය මගින් නිකුත් කළ නොතිසි අනුවයි.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සාවධ්‍ය මුදල් පරිහරණය ඇතුළු ⁣චෝදනා පහක් යටතේ අධිචෝදනා භාර දී තිබෙනවා.

ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම ⁣අධි චෝදනා ගොනු කර තිබෙනවා.

එහිදී අධිචෝදනා භාර දිමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ එක බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම ඔවුන්ගේ ඇඟිලි සලකුනු ලබා ගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසද නියෝග කළා.

ඉන් අනතුරුව නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

 

Share This