
හිටපු ජනාධිපති රනිල් තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ
බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
කෙසේ වෙතත් දැනට සිදුකරන ප්රතිකාරවලින් අනතුරුව දින 2ක් තුළ හිටපු ජනාධිපතිවරයා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ හැකි බවයි නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.
රාජ්‍ය මුදල් භාවිත කරමින් උපාධි ප්රදානෝත්වයකට සහභාගී වීමට ලන්ඩන් නුවරට යාමේ සිද්ධිකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් අතර පසුව කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර සෞඛ්‍ය හේතුන් මත බන්ධනාගාර රෝහලට මාරු කෙරුණා.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට පවතින රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නියමිත උපකරණ බන්ධනාගාර රෝහලේ නොමැති බව එම රෝහලේ බලධාරීන්ගේ පෙන්වාදීම හේතුවෙන් ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කිරීමටයි වෛද්‍යවරුන් සහ බන්ධනාගාර නිලධාරීන් පියවර ගත්තේ.
කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඊයේ පස්වරුවේම යොමු කළේ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විජලන තත්ත්වයට පත්ව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් දැන්වීමෙන් අනතුරුවයි.
මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා අමුත්තන් හමුවීම ද සීමා කර ඇති බවයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ.
බන්ධනාගාරයේදී ඇති වූ විජලන තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ වයස් සීමාව සැලකීමේදී යම් සංකූලතා ඇති වීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය අත්‍යාවශ්‍ය බැවින් ඔහුව මෙලෙස දැඩිසත්කාර ඒකකයේ තැබීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි නියෝජ්‍ය අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ.