
හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා ගේ ඇප අයදුම්පත සැප්තැම්බර් 09 වැනිදාට කල් යයි
දූෂණ චෝදනා මත වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සැප්තැම්බර් මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම ඇප ඉල්ලීම අද (25) කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේයී.
මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දීමට කටයුතු කළා.
ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වැනිදා කැදවීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළා.
2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26 කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබාදීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.