හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙඩි තැබීම ගැන ඇල්ලූ සැකකරුවන්ගෙන් තොරතුරු රැසක්

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙඩි තැබීම ගැන ඇල්ලූ සැකකරුවන්ගෙන් තොරතුරු රැසක්

මීගොඩ, ආටිගල පාරේදී ඊයේ දහවල් වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ශාන්ත මුදුන්කොටුව මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ පාදුක්ක වටරැක සෝමරත්න මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

බිම අතුරන ගල් තොගයක් සම්බන්ධයෙන් කතාබහ කර ගැනීමට අවශ්‍ය බව පවසමින් වටරැක මාර්ගයේ පිහිටි බුදුපිළිමය අසළට ගෙන්වා ගෙන ඇති හිටපු මන්ත්‍රිවරයා මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් ඔහු කැටුව අතුරු මාර්ගයක් ඔස්සේ ටික දුරක් ධාවනය කර මෝටර් රථයේ සිටම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි හෙළිව ඇත්තේ.

පසුව වෙඩික්කරුවන් පැමිණි රථය පසුපසට ධාවනය කර ප්‍රධාන මාර්ගයට පිවිස පලා ගොස් තිබූ අතර වෙඩි ප්‍රහාර හමුවේ අදාළ මන්ත්‍රිවරයා යාබද නිවසක් වෙත දිවගොස් ඇද වැටී තිබුණා.

හිටපු මන්ත්‍රිවරයාගේ ඥාතීන්, ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කල ද ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ වෙඩි තැබිම දැනට ඩුබායිහි සිටින පාතාල කල්ලි සාමාජිකයකු ලෙස හඳුන්වන ලලිත් කන්නංගර නැමැත්තාගේ මෙහෙයවීම මත සිදුකර ඇති අතර, ඊයේ පස්වරුවේම පලා යමින් සිටි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අදාළ මෝටර් රථය සමගින් අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය කටයුතු කළා.

එහිදී මෝටර් රථයේ තිබී වෙඩි තැබීමට යොදාගත් ගත් බව කියන ගිනි අවිය ද සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව ඇති අතර සැකකරුවන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි වාර්තා වන්නේ.

මියගිය හිටපු මන්ත්‍රිවරයා ලලිත් කන්නංගර නැමැත්තා සමඟ මීට පෙර සමීප සබඳතා පවත්වා ඇති අතර කප්පම් ලබාගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බව සඳහන්.

අදාළ විරසකය දුරදිග යාමෙන් ලලිත් කන්නංගර විසින් එම ඝාතනය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

Share This