පාසල් දරුවන්ට අද සිට STEM අධ්‍යාපනය

පාසල් දරුවන්ට අද සිට STEM අධ්‍යාපනය

ස්ටෙම් අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය ඔස්සේ මෙරට අධ්‍යාපන පද්ධතියට අද(31) ඇතුළත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ස්ටෙම් අධ්‍යාපනය මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් අධ්‍යාපනඥයන්ගේ ඉහළ අවධානයට යොමු වී ඇති බවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) මෙම නව ප්‍රායෝගික අධ්‍යාපන සංකල්පය නිර්මාණය කර ඇති බවත් ඇමතිවරයා කියා සිටියා.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත්ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිතවී තිබෙනවා.

දක්ෂ ගුරුවරුන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ මානව සම්පතක් අප සතු නිසා මෙම අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම එතරම් අපහසු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

‘ස්ටෙම් පාසලෙන් දකිමු – වැඩ කරමු – අනාගතයට පිය නගමු’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පෙළපොත් වැනි භෞතික සම්පත් සිසුන්ට නිසි කලට ලබා දී ස්ටෙම් අධ්‍යාපන ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ සාර්ථකව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා අද කොළඹ නවරඟහලේදී එහි සමාරම්භක වැඩසටහන පැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන් කළා.

Share This