ලොවට බලපෑම් කරන කාලගුණික විපර්යාස

ලොවට බලපෑම් කරන කාලගුණික විපර්යාස

කාලගුණික හා දේශගුණික විපර්යාස අද වන විට ලොව පුරා බරපතල අර්බුදයක් බවට පත්ව තිබෙනවා. සමාජයේ ආරක්ෂාව සහ යහපැවැත්ම සළකා බැලීමේ දී කාලගුණික හා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුවී පවතී. කාලගුණික විපර්යාස 21 වන සියවසේ මිනිසාගේ සංවර්ධනයට පවතින බරපතලම අභියෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට පරිසර උෂ්ණත්වය ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.

කාලගුණික සහ දේශගුණික විපර්යාස අතර වෙනස්කම් පවතින අතර එය එක් අවස්ථාවක් ලෙස නොව අවස්ථාවන් දෙකක් ලෙසයි හඳුන්වන්නේ. දේශගුණ වෙනස්විම යන්න වායුගෝලයේ දිගුකාලීනව පවත්නා තත්ත්වයේ වෙනස්වීමක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ. කෙසේවෙතත් කාලගුණය යනු කෙටි කාලසීමාවක් තුළ කිසියම් ස්ථානයක වායුගෝලයේ පවත්නා සාධකවල තත්ත්වයයි. ඊට උෂ්ණත්වය, ආර්ද්‍රතාව,වර්ෂණය, වායු පීඩනය, සුළං හා වළාකුළු ආවරණය වැනි සාධක අයත් වනවා. දේශගුණය යනු කිසියම් ප්‍රදේශයක දිගු කාලයක් පුරා පවතින වායුගෝලීය තත්ත්වයයි.

පරිසර උෂ්ණත්වය ඉහළ යාම සිදු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අතර හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීම ද ඒ සඳහා හේතු වී ඇති බව අද වන විට තහවුරු වී තිබෙනවා. පොසිල ඉන්ධන දහනය ඉහළ යාම කාලගුණික විපර්යාසයන් නිර්මාණය වීමට තවත් හේතුවක් වන බවයි පරිසරවේදීන්ගේ මතය වී ඇත්තේ. එමෙන්ම කාර්මීකරණයත් සමග වායුගෝලයේ පැවති හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යමීන් පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීම ද පසුගිය කාලය තුළ කාලගුණයේ වෙනස්වීමක් ඇති වීමට හේතු වී තිබෙනවා.

ඒ අනුව වර්තමාන මෙන්ම අනාගත පරපුරට ද කාලගුණික විපර්යාස සඳහා මුහුණ දෙමින් ජීවත් වීමට සිදුව පවතින බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය පවසනවා. ශ්‍රී ලංකාව ද කාලගුණික විපර්යාස හේතුවෙන් ඇති වන බලපෑමට ලක්ව ඇති රටක් බවටයි සැළකෙන්නේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කාලගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමට ඇති හැකියාව අවම මට්ටමක පැවතීම හේතුවෙන් එම රටවල් කාලගුණික විපර්යාස සඳහා දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා. අධික වර්ෂාපතනයකින් පසුව ඇතිවන ජල ගැලීම් , නාය යාම් හා නියඟ වැනි අවස්ථාවන් මෙරට තුළ සුලභව දැකගත හැකිය. ඒ අනුව රට තුළ නිර්මාණය වන කාලගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමට ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුව පවතින අංගයක් බවට වර්තමානය වන විට පත්ව තිබෙනවා.

කාලගුණ විපර්යාස හේතුවෙන් ලොවපුරා රටවල් බරපතල අර්බුදයකට ලක්ව සිටින කාලවකවානුව තුළ ලෝක ප්‍රජාවගේ අවධානය ඒ සඳහා යොමු කිරීමේ අරමුණින් යුතුව සෑම වසරකම මාර්තු 23 වන දින “ලෝක කාලගුණ විද්‍යා” දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ 1950 මාර්තු 23 දින ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පිහිටුවීමේ සම්මුතිය බලාත්මක වීම සිහිපත් කරමින්. මෙවර ලෝක කාලගුණ විද්‍යා දිනයේ තේමාව වී ඇත්තේ ‘පරම්පරා පුරා කාලගුණය, දේශගුණය සහ ජලයේ අනාගතය’ යන්නයි. සමාජයේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා කාලගුණික විපර්යාස අවම කිරීම පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරවීම ලෝක කාලගුණ විද්‍යා දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වී තිබෙනවා.

Share This