අගතියට පත් සේවකයින්ට සාධාරණයක්

අගතියට පත් සේවකයින්ට සාධාරණයක්

අද වන විට කම්කරු නඩු 16,000ට අධික නඩු ප්‍රමාණයක් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු වී ඇති බවත් මේ හේතුවෙන් කම්කරු වන්දි ලබා ගැනීමේදී බොහෝ ප්‍රමාදයන් සිදුව ඇති බවත් මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට  කම්කරු ආරවුල් පනත ඉදිරිපත් කරන බවත් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වර්තමානයේදී, කාර්මික ආරවුල් පනතට අනුව සේවකයන්ගේ සේවය අවසන් වූ අවස්ථාවන්හි, ඒ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ නඩු කටයුතු පමණක් කම්කරු විනිශ්චය අධිකාරියක් යටතේ සිදු කෙරෙනවා.  සේවක අර්ථ සාධක අරමුදල, වැටුප්, වෙනත් සේවා කොන්දේසි හා තත්ත්වයන් පිළිබඳව වූ විවිධාකාර පනත්වල ඇති ප්‍රතිපාදනයන්ට හාම්පුතුන් එකඟ නොවන හෝ එම රෙගුලාසීන් කඩකරන අවස්ථාවකදී, නඩු පැවරීම මහේස්ත්‍රාත් අධිකරණයන් තුළ දී සිදු කරනු ලබනවා.

මෙහිදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ 80 ක පමණ නඩුකරයන් 16000කට අධික ප්‍රමාණයක් පවරනු ලැබ තිබීමයි. මෙම නිසා අගතියට පත් සේවකයින්ට යම් සාධාරණයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බව ද, දැනට ඉතා සුළු ප්‍රමාණයක නඩු කටයුතු සිදුකරන, දිවයින පුරා ස්ථාපිත කම්කරු විනිශ්චය සභා 37 ක් වෙත මෙම බලය පවරන්නේ නම්, අගතියට පත්වන අයට සාධාරණයක් ඉටු කිරීම කඩිනම් කළ හැකි බව ද මෙහිදී සඳහන් කෙරුණා.

Share This