අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා චීනයෙන් මුදල් ප්‍රදානයක්

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා චීනයෙන් මුදල් ප්‍රදානයක්

මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රදානයක් චීන රජයෙන් තමන්ගේ මැදිහත් විමෙන් මෙරටට ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ පාසල් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගි වෙමින්.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසලේ කලු ලෑල්ල වෙනුවට ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බවත් එය ඊට වඩා බෙහෙවින් පුළුල් වූ අර්ථයක් හා දැක්මක් සහිත ක්‍රියාවලියක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට සමගාමීව 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් සුහුරු පුවරු 1000ක් ලබා දෙන බව සඳහන්.

මෙහිදී මෙරට පාසල් 500ක් ආවරණය කරගැනීමට එමඟින් අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මීට අමතරව සුහුරු පුවරු 1000ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන විදුලි සන්දේශන නියාමන කොමිසමෙන් ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව සකස් කෙරෙමින් පවතින බවද සඳහන් කළා.

එමෙන්ම ආමාත්‍යවරයා සඳහන් කර සිටියේ විදේශීය ප්‍රදානයක් වශයෙන් හිමිවන භෞතික සම්පත් අදියරෙන් අදියර ලබාගනිමින් ප්‍රමාද නොවී අඛණ්ඩව ඉදිරියට යා යුතුව ඇති බවයි.

Share This