අනවසර විදුලි රැහැනක් ගව හිමියා සහ ගවයා එළොව යවයි

අනවසර විදුලි රැහැනක් ගව හිමියා සහ ගවයා එළොව යවයි

අද පොහෝ දින තමන් සමග ජීවත් වූ ගවයාද සමග විදුලි සැර වැදී පුද්ගලායෙකු මරුට

කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් කැලිපානාවල ප්‍රදේශයේ දී ඌරුන් සදහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එසේම එම පුද්ගලයා රැකබලා ගත් මී ගවයෙක්ද අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම විදුලි රැහැනේම ගැටීම හේතුවෙන්.

කුඹුරක සිටි ගවයා රැගෙන ඒමට මෙම පුද්ගලයා ගොස් ඇති අතර එම අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කැලිපානාවල ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හැටදෙකක් වන තිදරු පියෙක්.

මියගිය පුද්ගලයා ඉතාමත්ම අසාවෙන් මෙම මී ගවයා රැකබලා ගෙන ඇති අතර ඔහුගේ කුඹුරු වගා කටයුතු සියල්ලකදීම මෙම මී ගවයා යොදාගෙන ඇති බව ගම්වාසින් පවසනවා.

කුඹුරේ වී අස්වැන්න ද මෙම මී ගවයා මගින් පාගා ලබා ගෙන ඇති අතර අවසානයේ ඔවුන් දෙදෙනා එකම ස්ථානයකදී අවාසනාවන්ත ලෙස අද මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනවසර විදුලි රැහැන් ඇද තිබූ පුද්ගලයා කොස්ලන්ද පොලිසිය වෙත භාර වී තිබෙනවා.

 

 

Share This