
“අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය” විවෘත වේ – අනීතික මුදල් ඉපයූ අයට වැඩ වරදී
2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 01 පිහිටි පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ විවෘත කෙරුණා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න , පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් හා නව කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන නිළධාරීන් පිරිසක් ඊට සහභාගි වී සිටියා.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පනතේ බලතල සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ අධිකරණයකින් මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් වුව ද මෙම පනත යටතේ අනීතිකව උපයාගත් දේපළ රාජ සන්තක කිරීමේ හැකියාව පවතින බවයි.
එහිදී නිදසුන් සහිතව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ රජයේ මැදිහත් වීමෙන් කොන්ත්‍රාත් පදනම මත යම් ව්‍යාපෘතියක් අරඹා එහි දූෂණයක් සිදුවී යම් පාර්ශ්වයකට ප්‍රතිලාභ අහිමි වී ගියහොත් දූෂණය සිදුකළ පුද්ගලයාගේ දේපල හදුනාගෙන ඒවා ප්‍රතිලාභ අහිමි වූ පිරිසගේ ප්‍රතිලාභ සැලසීම වෙනුවෙන් යෙදවීමට මෙම පනතේ ප්‍රතිලාභ පවතින බවයි.
මේ කිසිම කාරණයක් වෙනුවෙන් ක්‍රියාත්මක නොවුණ හොත් සිවිල් නඩුවක් පැවරීමේ හැකියාව ජනතාවට පවතින බවත් කරවිට මහතා පැහැදිළි කළා.
මෙම පනතට අනුව දේපළ හඳුනා ගැනීම, සොයා ගැනීම,අනාවරණය කර ගැනීම ,විමර්ශනය කිරීම ,දේපළ සම්බන්ධයෙන් තහනම් කිරීම ,සංරක්ෂණය, ආරක්ෂා කිරීම ,කළමනාකරණය, අධිකරණය මගින් ක්‍රියා විරහිත කිරීම,රජය සතු කිරීම , නිත්‍යනුකූලව ආපසු දේපළ බාරදීම මෙන්ම මේ යටතේ විශේෂ අධිකාරියක් පිහිටුවීමත් සුවිශේෂී කරුණු බව නව කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පැවසුවා.
මේ පනත ආරම්භ කර වසරක් ඇතුලත් අනිවාර්යයෙන්ම මේ අධිකාරිය පිහිටුවිය යුතු බව පනතේ සඳහන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.
ඒ යටතේ අරමුදල් දෙකක් පිහිටුවීමේ හැකියාව පවතින අතර ඉන් එක් අරමුදලකින් මේ කටයුතුවල යෙදෙන පොලිස් නිලධාරීන් , අධිකරණ නිලධාරීන් අනෙකුත් පුද්ගලයින් මහජනතාව දැනුවත් කිරීමත් මීට ලැබෙන මුදලින් සියයට 10 ක් වෙන් කිරීම හැකි බව ඔහු පෙන්වා දුන්නා.
රජයට බරක් නොවන ලෙස මේ පනත ක්‍රියාත්මක වන බවත් , අරමුදලින් තවත් සියයට 10 ක් යම් භාණ්ඩයක් මිලදී ගැනීම හෝ විදේශීය විගනනයක් හෝ තාක්ෂණ හැකියාව ඇති විශේෂඥවරුන් බඳවා ගැනීමේ දී ඔවුන් ගේ වැටුප් ගෙවීම පවා , මෙම අරමුදලින් ගෙවීම් කළ හැකි බවයි.
දනට යම් තාක්ෂණ හැකියාවන් ඇති පිරිස් පොලීසියට බඳවා ගැනීමේ දී ඔවුන්ට යම් තනතුරු පිරි නැමීමටත් , එම තනතුරු සඳහා හිමි වරප්‍රසාද ලබා දීමත් විශාල ගැටලුවක් බවත් නව පනත තුළ එම සියලුම ගැටලු වලට විසඳුම් ලබා දී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
මේ අවස්ථාවට එක්වූ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ නීතිය සම්බන්ධයෙන් තව පනත් කිහිපයක අවශ්‍යතාව ඇති බවයි.
නීතිය ක්‍රියාත්මක කරන්න බැරි හිස්තැන් බොහොමයක් පවතින බවත් ,නීතියේ වලංගුභාවය නැතිවන්න එවැනි දේ බලපා ඇති බවත් පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
පොලිස්පතිවරයා පැවසුවේ පොලිස් ආඥා පනතට කාලීන සංශෝධන අවශ්‍ය බවයි.
නව කොට්ඨාශයට දැඩි නීතිමය බලයක් තිබෙන ලෙස පනත සම්මත කර ඇති බැවින් නිලධාරීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බවටත් පොලිස්පතිවරයා පොරොන්දු වුණා.
මෙම අවස්ථාව ඇමතූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පනතක් සම්මත කිරීමෙන් පමණක් ප්‍රතිඵල උදාකර ගත නොහැකි බවයි.
සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පනතක් කෙටුම්පත් කරමින් තිබෙන බවත් , තව පනත් කිහිපයක් සකස් කරමින් පවතින බවත් සඳහන් කළා.
නීතියක් තිබූ පමණින් එහි සහනය ජනතාවට නොලැබෙන අතර යුක්තිය කඩිනමි ඉටුවීම සමාජ ක්‍රියාකාරීත්වයට බලපාන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
විජේපාල මහතා පැවසුවේ සමාජයේ නීතිය ක්‍රියා කරන බව දැනුනොත් ඒ අපරාධ වළක්වා ගැනීමට බලපාන බවයි.
ලැබෙන පළවෙනි පැමිණිල්ලේ සිට ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට දැනෙන යමක් කළ යුතු බවත් ,නීතිය ක්‍රියාකාරී නොවීමෙන් දැවැන්ත ධනයක් රටට අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
බැඳුම්කර මුදල් වංචාව සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සිහිපත් කළා.