
අපේක්ෂා රෝහලේ අපේක්ෂා නංවන්න – රු. මිලියන 600 ක පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්
රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව ප්‍රමාදවීමෙන් ගැටළු ගණනාවක් මතුවන බවත්, මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී සිදුවන ප්‍රමාදය අතිශය කණගාටුදායක කරුණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අද (03) පෙරවරුවේ මේ අදහස් පළ කළා.
එහි දී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් පැවසුවේ රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවයි.
සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60 ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අමාත්‍යවරයා පැවසුවේ මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටළු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවයි.
මින් ඉදිරියට රජය අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළා.
මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවා. ඔහු සදහන් කළේ එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 කට එනම් 35 % ක පමණ ප්‍රතිකාර සපයන බවයි.
ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය අපේක්ෂා රෝහල බවත්ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.