අපේ මුහුද ගැන බලන්න අපේම පර්යේෂණ කණ්ඩායමක්

අපේ මුහුද ගැන බලන්න අපේම පර්යේෂණ කණ්ඩායමක්

ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨඋපදේශක සාගල රත්නායක මහතා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතාට දැනුම් දී තිබෙනවා.

අදාළ පර්යේෂණ කණ්ඩායම සඳහා යම් පහසුකම් අවශ්‍ය වුවහොත් ඒවා ලබා ගැනීමට සහය වන ලෙසයි ඔහු සහකාර රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ.

එම පරීක්ෂණ කණ්ඩායම පිහිටුවීමෙන් පසුව විදෙස් නෞකාවලට ශ්‍රී ලාංකික මුහුදු තීරයට පැමිණ පරීක්ෂණ කටයුතු කිරීමට අවශ්‍ය නොවන අතර ඔවුන්ට අවශ්‍ය දත්ත පිළිබඳව දැනුම් දුන් පසු ලාංකික පර්යේෂණ කණ්ඩායම හරහා ඒවා ලබාදීමට හැකියාව ලැබෙන බවද සඳහන්.

ජපානය,ඕස්ට්‍රේලියාව වැනි රටවල්ද මේ කාර්යය සඳහා සහාය ලබා දෙන බව කී සාගල රත්නායක මහතා ලාංකික පර්යේෂණ කණ්ඩායම විසින් ලංකාවට අයත් ඉන්දියන් සාගර කලාපයේ ලබාගන්නා දත්ත අවශ්‍ය නම් විදෙස් රටවලට ලබාදීමට හැකියාව තිබෙන බවද පෙන්වා දුන්නා.

මෙහිදී අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා කියා සිටියේ අදාළ කටයුතු සඳහා ආධාර සහ දැනුම ලබාදීමට හැකියාව පවතින බවයි.

Share This