අලුත්ම කොරෝනා රැල්ලෙන් චීන ආර්ථිකයට දැඩි බලපෑම්
චීනයේ වූහාන් නගරයෙන් කොරෝනා වෛරස ව්‍යාපෘතිය ආරම්භ වී වසර දෙකක් ගතවන විට එය යම් ආකාරයක පාලනයකට යටත්ව ඇතත් එහි තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන්ව වී ඇති බව නොපෙනෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ වන විට මතුව ඇති නවතම තර්ජනය වන්නේ වෛරසය ආරම්භ වූ චීනයම තවත් කෝවිඩ් රැල්ලකට ගොදුරුවී තිබීමයි.
මේ වනවිට චීනයේ මතුව ඇති නව කොරෝනා රැල්ල හේතුවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති අතර කලකට පසු පසුගිය දිනක චීනයෙන් කොරෝනා මරණ දෙකක්ද වාර්තා වුණා.
මේ හේතුවෙන් චීනය විසින් සිය ශුන්‍ය කෝවිඩ් (Zero Covid ) ප්‍රතිපත්තිය හෙවත් කිසිදු ආසාදිතයෙකුට ඉඩක් නොතැබීමේ ක්‍රමවේදය යළි දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ෂැංහයි,ජිලින්,ෂෙන්සෙන් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක් විවිධාකාරයෙන් අගුලු දැමීමට කටයුතු කර ඇති අතර පරීක්ෂා කිරීම් ද දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. ජිලින් නගරය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර මේ හේතුවෙන් මිලියන 24 ක ජනගහනයකට නිවෙස්වලට කොටුවී ජීවත්වීමට සිදුව තිබෙනවා.
ප්‍රදේශයෙන් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර එය දෛනිකව දහස ඉක්මවන බව සදහන්. මේ අනුව ජිලින් වැසියන්ට එහා මෙහා යාමට නම් පොලිසියෙන් අවසර ගැනීමට සිදුව ඇති අතර ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබෙනවා.ෂැංහයිහි මෙන්ම ෂැන්ඩොංහි කිංඩාඕ වරාය නගරයේ ද වෛරස ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ෂැංහයිහි උද්‍යාන 157 ක් වසා දමා ඇති අතර තවත් 45 ක් වසා දැමීමට කටයුතු කරමින් ඇතැයි ද එරට වාර්තා සදහන් කළා. මෙවැනි සීමා කිරීම්වලට අමතරව රටේ ප්‍රාන්ත ගණනාවක අධ්‍යාපන සහ විවිධ සේවා සැපයීමේ කටයුතු දැඩි ලෙස සීමා කිරීම්වලට ලක්කිරීමට ද චීන බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.
කෙසේවෙතත් මෙම නව අගුලු දැමීම් සම්බන්ධයෙන් චීන ජනතාවගෙන් එතරම් හොද ප්‍රතිචාරයක් නොලැබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ලෝකයම වසර දෙකකට ආසන්න කාලයක් දැඩි සීමා පනවා ගෙන කටයුතු කළත් මේ වන විට කෝවිඩ් සමග ජීවත්වීමට හුරැවෙමින් සිටිනවා. එහෙත් චීනය තවමත් අනුගමනය කරන්නේ දැඩි සීමා කිරීම් සහිත ශුන්‍ය කෝවිඩ් ( Zero Covid ) ප්රතිපත්තියයි.
මෙම නව තත්වය එරට නිෂ්පාදන ක්ෂේත්රයට ඉතා දරැණු සහ අහිතකර බලපෑම් රැසක් ඇති කර තිබෙනවා. චීනයේ දකුණු කලාපයේ පිහිටි නගරයක් වන ෂෙන්සෙන්හි මිලියන 12.5 ක නගර වැසියන් දින පහක කාලයක් සඳහා අගුලු දැමූ අතර සියලු බස් රථ උමං මාර්ග සේවා අත්හිටුවනු ලැබුවා. චීනයේ සිලිකන් නිම්නය ලෙස හැඳින්වෙන ෂෙන්සෙන් ප්‍රදේශය එරට තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන නගරයි.
එහි ක්‍රියාත්මක වන බහුජාතික සමාගම් ගණනාවකට මෙම තත්ත්වය තුළ සිය මෙහෙයුම් නවතා දැමීමට බල කෙරී ඇති බව පැවසෙනවා. එම සමාගම් අතර ලොව ප්‍රමුඛම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වන Toyota, Volkswagen මෙන්ම ලොව විශාලතම Iphone සැපයුම්කරුවන Foxconn ද වනවා. චංචුන් නගරයේ පිහිටි සිය කර්මාන්තශාලව වසා දැමූ Toyota සමාගම නැවත එය ආරම්භ කරන දිනයක් දැනුම් දී නැහැ.ෂෙන්සෙන්හි සිය නිෂ්පාදන ස්ථානය වසා දැමූ Foxconn යළි එය විවෘත කරන්න්නේ පළාත් පාලන ආයතනවල සීමාවන් ඉවත් කිරීමෙන් පසුව බව පවසා තිබෙනවා.ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයකු වන Volkswagen චන්චුන් හි මෙහෙයුම් නවතා දැමීමෙන් පසු Valkswagen සහ Audi යන මෝටර් රථ සහ ඒවායේ උපාංග නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි චීන වාර්තා සදහන් කළේ.
මෙම තත්වය තුළ ගෝලීය සැපයුම් දාම වෙත දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ. චීන වාර්තා සදහන් කරන ආකාරයට එරට ප්‍රධාන නගර තුළ ක්‍රියාත්මකව පැවති ප්‍රධාන අවන්හල් 1110 ක් පමණ මෙම නව කොවිඩ් රැල්ල හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. එම ආයතනවල නියෝජිතයන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන් මාර්තු මස පළමු සති දෙක තුළ ඒවායේ විකුණුම් 20% කින් පහත වැටී ඇති බවයි.
ආර්ථික වශයෙන් වැදගත් ප්‍රදේශ වන ගුවැන්ඩොන්ග්, ෂැංහයි, ෂැන්ඩොන්ග් සහ ජිලින් ඇතුළු ප්‍රදේශ ගණනාවක ආර්ථික තත්ත්වයට මෙම කොවිඩ් රැල්ල බලපෑම් කර ඇත්තේ ඉතාම නරක ආකාරයටයි. වසා දැමුණු වෙළඳ සැල් සංඛ්‍යාව මාර්තු මාසයේ දී දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ජනවාරි මාසයේ වසා දැමුණු වෙළදසැල් සංඛ්‍යාව 500 ක් පමණ වූ අතර මාර්තු මාසයේ එම සංඛයාව 1100 දක්වා වැඩිවී තිබුණා. සියලුම ආපනශාලා වසා දැමුණු අතරම ඇතැම් රැගෙන යාම් හෝ බෙදා හැරීමේ සේවා ද තහනම් කිරීම හේතුවෙන් අවන්හල් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී තිබෙනවා.ෂෙන්සෙන් හි අගුලු දැමීම් මාර්තු මස 20 වන දා අවසන් වීමට නියමිතව තිබුණත් එය අවසන් වන දිනයක් පේනතෙක් මානයකවත් නැති බවයි පැවසෙන්නේ.මේ පසුබිම් තුළ ඇතැම් සමාගම් සිය සේවකයින්ට නැවත දැනුම් දෙන තුරු ගම් බිම් බලා යන ලෙස දැනුම් දී තිබෙනවා.
මේ ශුන්‍ය කෝවිඩ් හෙවත් Zero-Covid ප්‍රතිපත්තිය තුළ සෞඛ්‍ය සේවා වියදම් දැරිය නොහැකි මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. එවැනි වියදම් ඉහළ යාම සහ ණය ගෙවීම් පාලනය කිරීමට සිදුවීම සහ ආදායම් අඩුවීම හේතුවෙන් චීනයේ නගර ගණනාවක පළාත් පාලන ආයතන මුදල් හිඟතාවය පිළිබද බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව ද වාර්තාවනවා. මේ හේතුවෙන් ප්‍රාදේශීය පරිපාලනය පිළිබද ගැටලු රැසක් මතු කිරීමට හේතුවී ඇති බව ද සදහන්.
මේ අතර කෝවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය චීනයේ ජනතාව අතර ද දැඩි නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු ආදී හේතු මත දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජනතාව දැඩි සීමා සම්බන්ධයෙන් බලවත් ලෙස විරෝධය පළකරන්නට පටන්ගෙන ඇති බව ද එරට වාර්තාවල දැක්වෙනවා.
කෝවිඩ් පාලනය සදහා චීනය විසින් අනුගමනය කරන දැඩි සීමා කිරීම්වල ඵලදායීතාවය සම්බන්ධයෙන් ද මේ වන විට විවිධ අදහස් පළවෙමින් තිබෙනවා. ඇතැම් විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ මෙය සාර්ථක විසදුමක් නොවනු ඇති බවයි. හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විශේෂඥයකු මෙන්ම හොංකොහි රාජ්‍ය උපදේශකයකු වන මහාචාර්ය ගුවාන් යී සදහන් කරන්නේ වෛරසය දිගුකාලීනව සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා ශූන්‍ය කොවිඩ් උපායමාර්ගය භාවිත කිරීමේ ප්‍රයෝජනයක් නැති බවයි.
“වෛරසය දැන් ස්ථිරයි.එය දිගුකාලීනව මිනිසුන් තුළ සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා හා සමානයි. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ එය සමග ජීවත්වීමට හුරුවීමයි” යනුවෙන් ඔහු අවධාරණය කරනවා.