
ආණමඩුවේ ධම්මදස්සී නා හිමිපාණන් වහන්සේ ගේ අපවත්වීම ගැන අගමැතිනියගෙන් ශෝක පනිවිඩයක්
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නා හිමිපාණන් වහන්සේ ගේ අපවත්වීම පිළිබඳ පුවත අසා තමා මහත් සංවේගයට පත් වු බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ශෝක පනිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
අගමැතිය සිය ශෝක පනිවිඩයෙන් පෙන්වා දෙන්නේ දෙස් විදෙස් බෞද්ධ ජනතාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ කටුගස්තොට, ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල දහම්පාසලේ ප්‍රධානාචාර්ය ධුරය ද දරමින් ප්‍රදේශයේ හොඳම දහම් පාසල බවට එය පත් කිරීමට පියවර ගත් බවයි.
මහනුවර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිධුරය මෙන්ම මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිධුරය ද, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති තනතුර ද හොබවමින් මහඟු මෙහෙවරක් සිදුකළ උන්වහන්සේ 1986 දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය අරඹා කළ සේවය ද අගමැතිනිය සිහිපත් කරනවා.
ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට පත් ව දොළොස් වසරකට ආසන්න කාලයක් එහි කළ සේවය ද ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිකුත් කළ ශෝක පනිවිඩයෙන් ඇගයීමට ලක් කරනවා.
අගමැතිනිය පවසන්නේ අනු නාහිමියන් සංයමශීලි පෞරුෂයකින් හෙබි ශ්‍රද්ධා සීලාදි ගුණවලින් යුත් ඍජු ,මෘදු ලක්ෂණවලින් ස්වකීය දිවිය ආලෝකවත් කරගත් සංඝ පීතෘන් වහන්සේ නමක් බවයි.
ඇය අවසන් වශයෙන් අනුනායක ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.