ආණ්ඩුවට විරෝධය දක්වන්න හෝටලයක වැඩමුළුවක්

ආණ්ඩුවට විරෝධය දක්වන්න හෝටලයක වැඩමුළුවක්

ආණ්ඩුවට විරෝධය පාමින් ලබන ජනවාරි මාසයේ සිට විරෝධතා මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් මේ දිනවල බිම් මට්ටමේ සාකච්ඡාවන් අරඹා ඇතැයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා .

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

මේ සම්බන්ධයෙන් වැඩමුළුවක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ එක්තරා හෝටලයකදී පසුගියදා පවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.

වත්මනෙහි තෙල් මිල ඉහළ දැමීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම, අධික ජීවන බරක් ජනතාව මත පැටවීම යන කාරණා මූලික කර ගනිමින් මේ වන විටත් දියත් වන විරෝධතා ව්‍යාපාරයන් පුළුල් කරමින් ලබන වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවට එහිදී සාකච්ඡා වී තිබෙනවා.

අතුරු වෛද්‍ය, පාරිභෝගික සේවා, පාරිභෝගික නිෂ්පාදන හා ප්‍රවාහන යන ක්ෂේත්‍ර ඇතුළු තවත් අංශ කිහිපයක නියෝජිතයන් රැසක් ඊට සහභාගි වී ඇති බව සඳහන්.

පක්ෂ දේශපාලනයකින් තොරව වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සිය ස්ථාවරයන් ගැනීමට එහිදී තීරණය කර තිබෙනවා

ඒ සඳහා සිවිල් සංවිධාන ඒකාබද්ධ වී නුදුරේදීම සිය අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩු පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීරණය කර ඇති අතර ඒවාට ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාර අනුව දැවැන්ත විරෝධතාවන් හෝ වැඩවර්ජන දියත් කිරීමට අවධානය යොමු කර ඇති බව ද වාර්තා වනවා.

Share This