
ආනයනික සහල් සදහා උපරිම සිල්ලර මිල නියම කළේ ඇයි? මෝල් හිමියන් ප්‍රශ්න කරයි
ආනයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ අරමුණ කුමක්ද යන්න රජය වහා හෙළි කළ යුතු බව ගොවි සංගම් සහ වී මෝල් හිමියන් රජයට අවධාරණය කර සිටිනවා.
වෙළඳපොලේ පවතින කීරි සම්බා හිගයට පිළියමක් ලෙස පොන්නි සම්බා සහල් ආනයනයට අනුමැතිය හිමිවූ බව ඉකුත් 14 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
ඒ අනුව ආයනයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 210 ක්.
ආනයනික නාඩු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර, ආනයනික සම්බා සදහා පනවා ඇති උපරිම සිල්ලර මිල දැක්වුනේ රුපියල් 230 ක් ලෙසයි.
රජය ඉකුත් දා ආනයනයට අවසර දුන් කීරි සම්බාවලට සමාන ජී.ආර්. 11 වර්ගයේ පොන්නි සම්බා කිලෝග්‍රෑමයක් සදහා අදාළ ගැසට් නිවේදනයෙන් පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 240 ක්.
මීට අමතරව ආනයනික කීරි පොන්නි සහල් හෝ පාල් පොන්නි කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 255 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබෙනවා.