ආර්ථිකය පරිවර්ථනයකට පොදු ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් –  ජනාධිපති අනුර

ආර්ථිකය පරිවර්ථනයකට පොදු ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනාධිපති අනුර

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්ථනයකට යොමු කිරිමේදී පොදු ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මහා භාණ්ඩාගරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූර්යප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියා.

ආර්ථික ජයග්‍රහණයක් ලබා ගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත් ඒ හා සමඟම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්තික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී තනි පුද්ගලයන් වශයෙන් සියලු දෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත් ඉලක්ක ළඟා කර ගත හැකි වන්නේ එය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරීන් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විශේෂඥ දැනුම සහිත නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විදිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවත් සඳහන් කළා.

ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

උපායමාර්ගික වැදගත් කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරිමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරු බදු මෙන්ම 2027 වසරේ ජී එස් පී ප්ලස් සහන වැඩසහන පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

 

Share This