ආසාදිතව මියගිය සයදරු පියාට ආසාදිත හිමි නමකගෙන් ආගමික වතාවත්

ආසාදිතව මියගිය සයදරු පියාට ආසාදිත හිමි නමකගෙන් ආගමික වතාවත්

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය අයකුගේ දේහය සමීපයේ සිට එයට අවසන් ගෞරවය දැක්වීම හා ආගමික වතාවත් සිදුකළ දුර්ලභ අවස්ථාවක් නාවලපිටිය රෝහලේදී සිදුව තිබෙනවා

කොරෝනාවෙන් මියගියද එවැනි භාග්‍යයකට හිමිකම් කීවේ කිතුල්ගල, තුම්පෑලබටේ පදිංචිව සිටි 86 හැවිරිදි සයදරු පියෙක් .

මෙම පියාට වෛරසය ආසාදනයවීමෙන් අසාධ්‍යව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා

වයෝවෘද්ධභාවය හා අසාධ්‍ය තත්ත්වය නිසා ඔහුගේ බාල පුතුට පියාගේ උපස්ථායක කටයුතු වෙනුවෙන් රෝහලේ සිටීමටද අවසර ලැබී තිබුණා

ඇඳන් 8කින් සමන්විත මෙම දැඩිසත්කාර ඒකකය තුළ ඒ වන විටත් කොරෝනා රෝගීන් කිහිප දෙනකු සිට ඇති අතර
ස්වාමින් වහන්සේ නමක්ද වෛරසය ආසාදිතව මෙහි ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

බාල පුතුගේ විලාප මැද්දේ පියාගේ අවසන් ආගමික කටයුතුද කිරීමට නොහැකිව තිබියදී මෙම ස්වාමින් වහන්සේ තමාගේ රෝගී තත්ත්වය පසෙකලා එම කටයුත්ත කර දීමට ඉදිරිපත්වී තිබෙන බවයි වාර්තා වන්නේ

ඒ අනුව රෝහල් අධ්‍යක්‍ෂවරයාටද මේ බව දැන්වීමෙන් පසු ඒ මහතා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීමට පියවර ගෙන තිබෙනවා

අනතුරුව නාහිමියන් කොරෝනා මළ සිරුර අසලම සිට ආගමික වතාවත් කොට පින් අනුමෝදන් කර ඇති අතර එම පියාගේ පුතුද සිරුර අසලම සිට එම කටයුතුවලට දායකත්වයදී තිබෙනවා

අනෙකුත් ආසාදිත රෝගීන්ද ඇඳන් මත සිට ආගමික කටයුතුවලට සහභාගි වී තිබෙන බවයි පැවසෙන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

 

Share This