
ඉන්දියාව සමග ගිවිසුම් අහෝසි කරන්න ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා , ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම අද (04) ප්‍රතික්ෂේප කළා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය අසෝක කමලදාස, නිතිඥ නුවන් බැල්ලන්තුඩාව, ශමේන්ද්‍ර වික්‍රමආරච්චි, චමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටියේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.
මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙන් චෝදනා කර තිබිණා.
මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවද පෙත්සම මගින් පවසා තිබුණා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.