
ඉන්දු ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය අලුත් කළ සංචාරයක් (PHOTOS)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව,නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වුණා
නියෝජිත පිරිසට නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය, සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත් වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්වූණා.
මෙහිදී ඉන්දියානු පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා පිළිබඳව දැනුවත් කිරීමකට නියෝජිත පිරිස එක්වූ අතර ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC) පිළිබඳව හදුන්වා දීම සිදු කෙරිණි.
මෙම කාරක සභාව විසින් විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම සිදුකරන අතර මෙම කමිටුවේ කටයුතු මාධ්‍ය සඳහා විවෘත වන්නක් නොවේ.
පාර්ලිමේන්තුවේ අසනු ලබන ප්‍රශ්න සහ පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙහෙයවන ලද සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි.
ඉන්දියාවේ ශක්තිමත් අධීක්ෂණ සහ ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීම මෙමගින් සිදුවූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංසන්දනාත්මකව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අවස්ථාවද එහිදී හිමිවුණා.
සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාද හමුවුණා.
සංචාරය අතරතුර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවූ මෙරට දූත පිරිස කලාපීය සහයෝගීතාව, ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව සාකච්ඡා කළා.
මෑතදී පහල්ගම් ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කරමින් ඉන්දියාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළ දූත පිරිස, ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින් සහ සාමය සහ ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය කැපවීම නැවත අවධාරණය කළේය.
ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට, මහජන නියෝජිතයන්ට පක්ෂ මාරුවීම් විරෝධී නීතිය, ආණ්ඩු පක්ෂ හා විපක්ෂ සංවිධායකවරුන්ගේ කාර්යභාරය, ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සමඟ අන්තර්ක්‍රියා ආදී සාකච්ඡා ගණනාවක් පිලිබඳ මේ සංචාරයේදී අවධානය යොමුව තිබෙනවා.
මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩිදියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරුණු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලා