
ඉෂාරා සෙව්වන්දි ඇතුළු හයදෙනා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු හයදෙනා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අද පොලිසියට අවසර හිමිවුණා.
ගණේමුල්ල සංජීව ඝාතනය සිදු කළ දින, දණ්ඩ නීති සංග්‍රහය තුළ සඟවා රැගෙන ආ ගිනි අවිය වෙඩික්කරු වු කමාන්ඩෝ සමිදු නැමැත්තා වෙත තමා විසින් ලබා දුන්නේ අධිකරණ භූමියේ පඩිපෙළක් මතදී බවට ඉෂාරා සෙව්වන්දි තොරතුරු අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම ඔවුන් දෙදෙනාම නඩුව පැවති අධිකරණ භූමිය වෙත පිවිස නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයේ රැඳී සිට ඇති අතර ගණේමුල්ල සංජීව විත්තිකූඩුවට නැගි අවස්ථාවේ කමාන්ඩෝ සමිඳු විසින් අදාළ වෙඩි තිබීම සිදුකළ බවයි ඇය පවසා ඇත්තේ.
අදාළ වෙඩි තැබීමෙන් අනතුරුව අධිකරණ භූමිය තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ගිනි අවිය සඟවාගෙන පැමිණි දණ්ඩ නීති සංග්‍රහය ද තමා අතින් අධිකරණය භූමියයෙහි අතහැර දමා වහාම එම ස්ථානයෙන් පිට වූ බවද ඉෂාරා සෙව්වන්දි ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.