ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට ලංකාවට

ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට ලංකාවට

ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (06) පස්වරු මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුළු දූත පිරිස පිළිගැනීමට නියමිතව ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින්.

අමාත්‍ය විජිත හේරත් මහතා සහ ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය අතර නිල හමුවක් පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා මෙම සංචාරය අතරතුර පැවැත්වීමට නියමිතයි.

සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ගේ මෙම සංචාරය සිදුවන්නේ ඔස්ටේලියාවේ නව රජය පිහිටුවීමෙන් පසු එරට නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා වන Richard Marles ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් සහ එරට විදේශ අමාත්‍ය Penny Wong සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් මැලේසියාවේ දී සිදු වූ පසුබිමක යි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය හෙට සිට 10 වැනි දා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත් නියමිතව ඇති බවයි.

එහිදී බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ආණ්ඩුකාරවරිය නිරීක්ෂණය කරනු ඇති.

සමන්තා ජෝයි මොස්ටින්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත් සංචාරයක් වන අතර මෙම සංචාරයේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම අරමුණු වනවා.

 

Share This