ඊබ්‍රහිම් රයිසි ගැන ඔබ දන්නවාද? ඉරානයේ මීළඟ ජනාධිපති කවුද?

ඊබ්‍රහිම් රයිසි ගැන ඔබ දන්නවාද? ඉරානයේ මීළඟ ජනාධිපති කවුද?



ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දැඩි මතධාරී පූජකයෙක්.

ඔහු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි ඛමෙනීට ඉතා ලැදි පුද්ගලයෙක් වශයෙන් ප්‍රකට අයෙකු වනවා.

2021 වසරේදී ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඔහු එතැන් සිට ඉරානයේ සෑම ප්‍රදේශයක්ම දැඩි මතධාරීන්ගේ පාලනයට නතු කර ගැනීමට සමත් වුණා.

63 හැවිරිදි වියේ පසුවූ ඊබ්‍රහිම් රයිසි ඉරානයේ අධිකරණ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබුණා.

2021 වසරේ පැවති මැතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් වාර්තා කළේ එවක ජනපති ලෙස කටයුතු කළ හසන් රෞහානි ව අභිබවා යමින්.

උග්‍ර ආර්ථික ගැටලු, තීව්‍ර වන කලාපීය ආතතීන් සහ ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් පුනර්ජීවනය කිරීම පිළිබඳ සාකච්ඡා ඇනහිටීම ඇතුළු විවිධ අභියෝගවලට එවකට ඉරානය මුහුණ දී සිටීම ඔහුට බලයට පැමිණීමට හේතු වුණා.

කෙසේවෙතත් එම මැතිවරණය සර්ව සාධාරණ නොවූ බව පිළිගත් මතයක් වන අතර විශේෂයෙන්ම නිදහස් මතධාරී සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හඬ නැගූ අපේක්ෂකයින්ට එහිදී අවස්ථාවක් නොලැබුණු අතර බොහෝ ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

ඔහු බලයට පැමිණ වසරක් ගතවෙන්නටත් මත්තෙන් ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර ගියා.

කෙසේවෙතත් එම උද්ඝෝෂණ රාජ්‍ය බලය යොදා මැඩපැවැත්වීමට ඔහු සමත් වුණා.

ඊශ්‍රායල – හමාස්, ඊශ්‍රායල – හෙස්බුල්ලා ගැටුම්වලදී ඊශ්‍රායල විරෝධී පාර්ශ්වයන් සඳහා ඉරානයේ සහාය ලැබෙන අතර ලෝක නාවික කටයුතු සඳහා හිසරදයක් වී ඇති හවුති කැරළිකරුවන්ගේ ප්‍රධාන සහායකයා වූයේද ඉරානයයි.

ඊබ්‍රහිම් රයිසි විසින් මෙම තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කළ අතර මේ හේතුවෙන් බටහිර ලෝකය ඔහුට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැහැ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද රයිසිට විවිධ චෝදනා එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම 1980 දශකයේදී දේශපාලන සිරකරුවන්ට මරණ දණ්ඩනය ලබාදුන් විශේෂ කමිටුවක සාමාජිකයෙක් ලෙස ඔහු කටයුතු කළා.

1960 වසරේ දී රයිසි මැෂ්හාඩ් ප්‍රදේශයේ උපත ලැබූ ඊබ්‍රහිම් රයිසිගේ පියාද පූජකයෙකු වනවා.

සිය පියා ඔහුට අවුරුදු 5 වන විට මිය ගිය අතර පියාගේ අඩි පාරේ යමින් වයස අවුරුදු 15 වන විට රයිසි, සෙමනේරියකට සම්බන්ධ වුණා.

එහිදී ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් ෂා පාලනයට එරෙහිව උද්ඝෝෂණ සඳහා එක්වී ඇති අතර 1979 දී අයතොල්ලා රුහොල්ලා ඛොමෙයිනි නායකත්වය දුන් “ඉස්ලාමීය විප්ලවය” විසින් ෂා පාලනය බිඳ හෙලනු ලැබුවා.

එම විප්ලවයෙන් අනතුරුවයි ඔහු එරට අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කළේ.

2017 වසරේදී කිසිවෙක් බලාපොරොතු නොවූ ලෙස ඉරාන ජනාධිපතිවරණය සඳහා ඊබ්‍රහිම් රයිසි ඉදිරිපත් වූ නමුත් ඔහුට එහිදී ලැබුණේ 38%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

කෙසේවෙතත් ඉන් නොනැවතුණු රයිසි 2021 ජනාධිපතිවරණයේදී 62%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් එරට නායකයා බවට පත්වුණා.

ෂියා සම්ප්‍රදායට අනුව ඔහු මුහම්මද් නබිතුමාගෙන් පැවත එන්නෙකු ලෙස හැඟවීම සඳහා සෑම අවස්ථාවකම කළු පැහැති හිස්වැස්මක් පැළඳ සිටියා.

ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියා වනවා.

හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසිට ලොව රටවල් රැසක රාජ්‍ය නායකයින් සිය ශෝකය පළ කර තිබෙනවා.

ඊබ්‍රහිම් රයිසිගේ මිය යාමත් සමග මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ මීළඟට එරට ජනාධිපති ධුරයට පත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳවයි.

ඉරානයේ පාලන තන්ත්‍රය අනුව ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු මිය ගියහොත් ඉරාන රාජ්‍යයේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන ප්‍රකාශය හිමි උත්තරීතර නායකයාගේ තහවුරු කිරීමත් සමග පළමු උප ජනාධිපති බලයට පත්වනු ඇති.

ඒ අනුව මේ වන විට එම ධුරය හොඹවන 68 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් මොක්බර් බලයට පත් වනවා.

අනතුරුව උප ජනාධිපතිවරයා විසින් කථානායකවරයා සහ අධිකරණ ප්‍රධානියා සමන්විත වන කවුන්සිලයක් විසින් උපරිම දින 50ක් තුළ නව ජනාධිපතිවරයෙකු සඳහා මැතිවරණයක් සංවිධානය කළ යුතු වනවා.

ඉරානයේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2025 වසරේදීයි.

Share This