ඊශ්‍රායලයට අයත් නෞකාවක් අත්පත් කරගත් බවට ඉරානයට චෝදනා

ඊශ්‍රායලයට අයත් නෞකාවක් අත්පත් කරගත් බවට ඉරානයට චෝදනා

ඊශ්‍රායලයේ වාණිජ නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී අත්පත් කරගෙන ඇති බවට ඉරානයට චෝදනා එල්ල වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට සැතපුම් 50ක් ඔබ්බෙන් ඉරාන විශේෂ බලකායන් විසින් MSC Aries නෞකාවට ගොඩවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රොයිටර් පුවත් ඒජන්සිය විසින් ලබාගත් දර්ශනවලින් පෙනී ගියේ භට පිරිස් හෙලිකොප්ටරයකින් යාත්‍රාවට ගොඩ වන ආකාරයයි.

මෙම නෞකාව ඊශ්‍රායල ප්‍රකෝටිපතියෙකු වන Eyal Oferට අයත් නෞකාවක් බව සඳහන්.

අප්‍රේල් මස මුලදී ඩැමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඊශ්‍රායලයට ඉරාන ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීමට තෝරා ගැනීමේ ප්‍රතිවිපාක ඉරානය දරන බවයි.

දත්ත අවසන් වරට පෙන්නුම් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් වූ MSC Aries පැය 18 කට පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන බවයි.

පසුව එහි දත්ත අක්‍රිය කරන බව පෙනී ගොස් තිබෙනවා.

රටේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ඉර්නා පැවසුවේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) නෞකාව ඊශ්‍රායලයට අයත් නිසා එය අල්ලා ගත් බවයි.

එම නෞකාව ඉරාන මුහුදු ප්‍රදේශයට ගමන් කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

Share This