ඊශ්‍රායලය රෆා ආක්‍රමණයේදී සීමා කඩකර නැහැ – ධවල මන්දිරයෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය රෆා ආක්‍රමණයේදී සීමා කඩකර නැහැ – ධවල මන්දිරයෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය දකුණු ගාසා තීරයේ රෆා වෙත සම්පූර්ණ ආක්‍රමණයක් දියත් කර ඇති බව එක්සත් ජනපදය විශ්වාස නොකරන බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි නිවේදනය කරනවා.

ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් තවමත් නවාතැන් ගෙන සිටින රෆාහි “ජනගහන මධ්‍යස්ථාන” වෙත ඊශ්‍රායලය ඇතුළු වුවහොත් ඊශ්‍රායලයට ආයුධ සැපයීම සීමා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පසුගියදා සඳහන් කළා.

පසුගිය ඉරිදා ප්‍රහාරය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ඉලක්ක කර සිදුකළ බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායලය එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ අමෙරිකාව ඉරිදා ප්‍රහාරය මගින් ඇතිවූ ගින්න ගැන සිදුකරන ලද ප්‍රශ්න කිරීමකින් අනතුරුවයි.

ප්‍රහාරයෙන් පසු ඒ ආසන්නයේ පිහිටි හමාස් අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් ගින්න හටගන්නට ඇති බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ.

මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස රෆාහි සිටින අහිංසක ජීවිතවලට හානි නොවිය යුතු බව ජෝන් කර්බි මහතා පෙන්වා දෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊශ්‍රායල හමුදාව ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් සහ ගැඹුරු පරීක්ෂණයක් සිදු කරන ආකාරය තමන් බලා සිටින බවයි.

කෙසේ වෙතත් රෆා අල්ලා නොගෙන ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව යුද්ධයේ ජයග්‍රහණය අත්කර ගැනීමට නොහැකි වන බව ඊශ්‍රායලය අවධාරණය කර ඇති අතර ඊශ්‍රායලය ව්‍යසනකාරී මානුෂීය ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This