ඊශ්‍රායල් – ඉරාන ගැටුම උණුසුම් වෙයි

ඊශ්‍රායල් – ඉරාන ගැටුම උණුසුම් වෙයි

දිනෙන් දින උත්සන්නවන ඊශ්‍රායල ඉරානන යුද ගැටුම් මධ්‍යයේ ඉරානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව දියත් කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි අනතුරු අඟවා ඇත්තේ අමෙරිකාව මෙලෙස යුද ගැටුමට අවතීර්ණ වුවහොත් සිදුවන හානිය තක්සේරු කළ හැකි මට්ටමේ එකක් නොවන බවටයි.

මේ අතර ඊශ්‍රායලයේ ටෙල්අවිව් රෝහලේ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට ඉරාන මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

තුන් වන ලෝක යුද්ධයකට මඟ පාදන බවට දැනට ඉඟි පලවන මැදපෙරදිග අර්බුදකාරී යුදමය තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතිනවා.

ඒ අනුව අදත් අඛණ්ඩව ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට දරුණු ලෙස ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිනවා.

ඉරානය සතු විනාශකාරී මිසයිලයක් වන ‘ෆටා‘ මිසයිල දියත් කිරීමෙන් පසු තවත් මාරාන්තික බැලස්ටික් මිසයිලයක් වන ‘සෙජ්ජිල්‘ දිගු දුර මිසයිලද ඊයේ රාත්‍රිය මුළුල්ලේම ඊශ්‍රායලය වෙත එල්ල කළා.

එම ප්‍රහාරවලින් බොහෝමයක් ගොඩනැගිලිවලට එල්ල වී තිබූ අතර ඊශ්‍රායල හමුදාවේ ඇරෝ මිසයිල අන්තර්ග්‍රාහක සැපයුම වේගයෙන් අඩුවෙමින් පවතින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායලයද ඉරානයේ මිසයිල නිෂ්පාදන හැකියාවන් ඉලක්ක කර ගනිමින් ටෙහෙරානයේ හමුදා ස්ථාන 20කට වැඩි ප්‍රමාණයකට මෙලෙස ප්‍රහාර දියත් කර තිබුණා.

මෙම ප්‍රහාර රැල්ල සදහා ඊශ්‍රායල ජෙට් යානා 60ක් යොදා ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට ඊශ්‍රායල – ඉරාන යුද්ධයට මැදිහත් වනවාද නැද්ද යන්න පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹ නැහැ.

තොරතුරු වාර්තා වන්නේ , ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීම සඳහා බංකර් බිඳ දැමිය හැකි බෝම්බ භාවිතා කිරීම ඇතුළුව, පූර්ණ පරිමාණ යුද්ධයකට අවතීර්ණවීමකින් තොරව ඉරාන ඉලක්කවලට පහර දිය හැකි ආකාරය පිළිබදවද සලකා බලමින් සිටින බවටයි.

අමෙරිකානු ජනපති පවසන්නේ මෙවැන්නක් – (ඔයා දන්නේ නැහැ මම ඒක කරයිද කියලාවත්.මම ඒක කරන්නත් පුළුවන්, මම ඒක නොකර ඉන්නත් පුළුවන්. මට කරන්න ඕන දේ කවුරුත් දන්නේ නැහැ. නමුත් මට මේක කියන්න පුළුවන්: ඉරානය ඉන්නේ කරදර ගොඩක් මැද සහ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවෙන්.)

ඉරාන උත්තරීතර නායක ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා -(අන්තිමට අමෙරිකා එක්සත් ජනපදයේ නායකයා කට ඇරියා අපිට තර්ජනය කරන්න. හාස්‍යජනක සහ පිළිගත නොහැකි ප්‍රකාශයක් එක්ක, ඔවුන් අපට තර්ජනය කරනවා. ඉරාන ජනතාව සහ මම අමෙරිකාවට යටත් විය යුතතුයි කියලා.
අමෙරිකාව මේකට මිලිටරි මැදිහත්වීමක් කළහොත් සිදුවන හානිය කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි එකක් වෙවි)

මෙවන් පසුබිමක ඉරානය එරට පුරා අන්තර්ජාල ප්‍රවේශය සඳහා තාවකාලික සීමා පැනවීමටද කටයුතු කර තිබෙනවා.

ඊයේ යුද උපකරණ රැගත් චීන ගුවන් යානා 3ක් රේඩාර් පද්ධතිය මගහැර ඉරානයට පැමිණ බවටද ඇතැම් පුවත් වාර්තා වනවා.

 

 

Share This