උගන්ඩාවට ගෙන ගියේ ඩොලර්ද ?

උගන්ඩාවට ගෙන ගියේ ඩොලර්ද ?

ගුවන් යානා තුනකින් උගන්ඩාවට ඩොලර්  ගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි නීති කටයුතු පිළිබඳ හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

රේගු දෙපාර්තමේන්තුවෙන් ගත් තොරතුරුවලට අනුව එම ගුවන් යානා මගින් උගන්ඩාවට ගෙන ගොස් ඇත්තේ මෙරට පිහිටා ඇති විදෙස් සමාගමක් මගින් මුද්‍රණය කළ උගන්ඩාවේ මුදල් ඒකකය වන ශිලිංග්ස් යැයිද ඒ මහතා සඳහන් කරනවා.

‘ඩි ලාරූ’ නමැති මෙම බ්‍රිතාන්‍ය සමාගම සිය කර්මාන්ත ශාලාවක් මෙරට පිහිටුවා වසර 30ක් වන බවද හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා වැඩිදුරටත් පවසනවා.

බ්‍රිතාන්‍යයේ මෙම සමාගම පිහිටුවා වසර 200ට වැඩි කාලයක් ගතව ඇති බවත්  මෙම සමාගම සතු කර්මාන්ත ශාලා ලංකාවේ, කෙන්යාවේ සහ මෝල්ටාවේ පිහිටා ඇති බවත් සඳහන්.

මෙම කර්මාන්ත ශාලාව මෙරට පිහිටුවූදා සිට මේ වන තෙක් පැවැති සෑම රජයක් යටතේම ලොව පුරා රටවලින් ලැබෙන ඇණවුම්වලට අදාළව මුදල් නෝට්ටු මුද්‍රණය කර යැවීම කර තිබෙනවා.

උගන්ඩා සිදුවීමත් එවැනි එක් සිදුවීමක් බව පෙන්වා දෙන ඒ මහතා ආයෝජන මණ්ඩලය සමඟ ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව ප්‍රින්ටඩ් මැටර් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් මෙම සමාගම මගින් කෙරෙන මෙවැනි මුදල් නෝට්ටු අපනයනය නීත්‍යනුකූල අපනයනයක් බවද ඒ මහතා සඳහන් කරනවා

ශ්‍රී ලංකා රේගුවේ සේවය කරන අවධියේ මෙම කර්මාන්ත ශාලාවට හතරවරක් ගොස් ඇති බවද සඳහන් කරන හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පෙන්වා දෙන්නේ ගෝලීය ආරක්ෂණ මුද්‍රණ යන්ත්‍රයක් මගින් ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ එහි ක්‍රියාදාමයන් සිදුවන බවයි.

මෙහිදී පූර්ණ වාණිජමය කටයුත්තක් කෙරෙන බැවින් රටට ඩොලර් ආදායම් හිමි කර දෙන මෙවැනි කර්මාන්තශාලා රැක ගැනීමට කටයුතු නොකර මෙලෙස විවේචනය කිරීම නුසුදුසු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This