උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා

වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය මෙරට බෞද්ධයින්ට මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව මෙරට බෞද්ධ ජනතාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට එක් වෙමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු ලබනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ ද අද වන් වෙසක් ‍පුන් පොහෝ දිනකයි.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩ ම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

එමෙන්ම විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනක යි.

මේ අතර සම්බුදු තෙමඟුල වෙනුවෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කරන ස්වර්ණ වර්ණ වෙසක් පොහෝ දින වැඩසටහන් මාලාව මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.

Share This