
උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනයට පියවර
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල විශේෂ පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනයට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී යි
ඒ අනුව උතුරු පළාතේ කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල උතුරු පළාත් සභාවේද සහයෝගය සමගින් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි
අමාත්‍යවරයා නිරීක්ෂණය කරණු ලැබූ සෑම ප්‍රාදේශීය රෝහලකම සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට වර්තමානයේ පවතින ගැටලු පිළිබඳව කරුණු මෙන්ම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට ද අමාත්‍යවරයා මෙහි දී පියවර ගත්තා
එහි දී එම රෝහල්වල පවතින භෞතික හා මානව සම්පත්වල හිගතාවයන් පිළිබඳව සෞඛ්‍ය කාර්යමණ්ඩල විසින් අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් අතර ඊට කඩිනම් විසදුම් ලබා දීමට අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සමග මෙහි දී දීර්ඝව කරුණු සාකච්ඡා කර කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා
එමෙන්ම බෝවන රෝග මෙන් ම බෝ නොවන රෝගවල යම් වර්ධනයක් වර්තමානය වන විට මෙම ප්‍රදේශයන්හි පෙන්නුම් කරන බව මෙහි දී අනාවරණය වුණා