එංගලන්ත තරුණියගේ බෑගය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට

එංගලන්ත තරුණියගේ බෑගය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට

එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පිටකොටුව පොලිසිය සඳහන් කරන්නේ.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා එම තරුණියගේ බෑගය සොරාගෙන ගොස් තිබුණා.

බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප සහ තොරතුරු ඔස්සේ ලබා ගත් තොරතුරුවලට අනුව කලකට පෙර බස් රථවල ස්ටිකර් අලෙවිකළ පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති අතර ලැප් ටොෆ් පරිගණකය රහස් අංකය විනාශ කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී තිබූ බව සඳහන්.

එමෙන්ම සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබියදී සොයාගැනීමට හැකිවූ බවයි පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා කියා සිටියේ.

“Under The Same Sky ” නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නමැති මෙම තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This