එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින්  “අධික හා බරපතල” හානියක් සිදුව ඇතැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගනී

එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් “අධික හා බරපතල” හානියක් සිදුව ඇතැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගනී

මෑත කාලීන එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට “අධික හා බරපතල” හානියක් සිදු වූ බව ඉරාන විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබෙන බව බී.බී,සී. සේවය අද වාර්තා කළා.

ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය විසින් හානිය පිළිබඳ තක්සේරුවක් සිදු කරන බව අබ්බාස් අරග්චි ඊයේ(26) සවස රාජ්‍ය විකාශකයෙකුට පැවසා තිබුණා.

නමුත්, පැය කිහිපයකට පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ ප්‍රහාර රටේ න්‍යෂ්ටික වැඩසටහනට බාධාවක් නොවූ බවයි.

බෝම්බ මගින් න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් “සම්පූර්ණයෙන්ම විනාශ කර” ඇති බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට කමේනි ප්‍රතිචාර දක්වමිනුයි මේ අදහස් පළ කළේ.

එක්සත් ජනපද ප්‍රහාර “සැලකිය යුතු කිසිවක් ඉටු කිරීමට” අපොහොසත් වී ඇති බව කමේනි එහිදී පැවසුවා.

නමුත් අරග්චිගේ ප්‍රකාශ වෙනස් හැඟීමක් ඇති කරන්නක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.

ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කළ විට ඉරානය නියමිත හයවන වටයේ සාකච්ඡා අවලංගු කළා.

“ඉරාන ජනතාවගේ අවශ්‍යතා සඳහා” රජය පරීක්ෂා කරමින් සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා එහි ප්‍රවේශය “නව ස්වරූපයක්” ගන්නා බවත් පවසමින් ඉරාන විදේශ අමාත්‍යවරයා තවදුරටත් පවසා තිබෙනවා.

ඉරානය නැවත සාකච්ඡා මේසයට ගෙන ඒමේ උත්සාහයක් ලෙස, ට්‍රම්ප් පරිපාලනය සිවිල් බලශක්ති නිෂ්පාදනය කරන න්‍යෂ්ටික වැඩසටහනක් ගොඩනැගීම සඳහා ඉරානයට ඩොලර් බිලියන 30 ක් ලබා ගැනීමට උදව් කිරීම, සම්බාධක ලිහිල් කිරීම සහ සීමිත ඉරාන අරමුදල්වලින් ඩොලර් බිලියන ගණනක් නිදහස් කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කර ඇති බව CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කළා.

ඉරාන පාර්ලිමේන්තුව ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂකයා වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සමඟ සහයෝගීතාවය නැවැත්වීම සඳහා පනත් කෙටුම්පතක් අනුමත කළා.

එය ක්‍රියාත්මක කළහොත්, එයින් අදහස් වන්නේ ඉරානය තවදුරටත් න්‍යෂ්ටික පරීක්ෂකයින්ට තම ස්ථානවලට ඇතුළු වීමට ඉඩ නොදෙන බවයි.

ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ සැලසුම් යැයි කියා සිටින දේ ව්‍යර්ථ කිරීම සඳහා ඉරානයට එරෙහි ප්‍රහාරය අවශ්‍ය බව ඊශ්‍රායලය පවසනවා.

ඉරානය අවධාරනය කර ඇත්තේ සැමවිටම තම න්‍යෂ්ටික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් බවයි.

Share This