එක්සත් රාජධානි‍ය ශ්‍රී ලංකාවට 100% ක් තීරුබදු නිදහස් කිරීම ගැන ලංකා වාණිජ මණ්ඩලය සතුටින්

එක්සත් රාජධානි‍ය ශ්‍රී ලංකාවට 100% ක් තීරුබදු නිදහස් කිරීම ගැන ලංකා වාණිජ මණ්ඩලය සතුටින්

2026 මුල් භාගයේදී ක්‍රියාත්මක වීමට නියමිත සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ එක්සත් රාජධානියේ රජය විසින් සම්භවය පිළිබඳ නීති ලිහිල් කිරීම ලංකා වාණිජ මණ්ඩලය පිළිගන්නා බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මෙම වැදගත් පියවර මගින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ඔවුන්ගේ ප්‍රධාන වෙළඳපොළකට වැඩි ප්‍රවේශයක් ලබා දෙමින් වැඩි වෙළඳ විවෘතභාවයක් සහ නම්‍යශීලී බවක් සඳහා එක්සත් රාජධානියේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වන බවයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට එක්සත් රාජධානියට තීරුබදු රහිත ප්‍රවේශය රඳවා ගනිමින් ඕනෑම රටකින් යෙදවුම් වලින් 100% ක් දක්වා ලබාගැනීමට ඉඩ සලසන ප්‍රතිසංස්කරණ, මෙරට විශාලතම අපනයන අංශය වන ඇඟලුම් කර්මාන්තයට කාලෝචිත තල්ලුවක් ලබා දෙනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය පවසනවා.

ඊට අමතරව, ආසියානු රටවල් 18 ක් පුරා පුළුල් කරන ලද කලාපීය සමුච්චිත විධිවිධාන සැපයුම් දාම තවදුරටත් ශක්තිමත් කරන අතර අනෙකුත් අගය එකතු කළ අපනයන සඳහා අවස්ථා විවෘත කරනු ඇතැයි එම මණ්ඩලයේ අදහසයි.

“මෙම මුලපිරීම ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් රාජධානියේ රජය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා රජය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය දරන උත්සාහය බෙහෙවින් අගය කරන බව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා තවදුරටත් පවසනවා.

ශ්‍රී ලාංකික අපනයනකරුවන් දිරිමත් කරමින් පවසන්නේ නව වෙළඳ විධිවිධාන පිළිබඳව හුරුපුරුදු වන ලෙස සහ පවතින අවස්ථාවන්ගෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමට සූදානම් වන ලෙසයි.

මෙම සංක්‍රාන්තියට සහාය වීම සඳහා, පෞද්ගලික අංශය පුරා තොරතුරු බෙදා හැරීම සහ පුළුල් දැනුවත්භාවයක් ගොඩනැගීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බව ද අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Share This