“එක්ස්ප්‍රස් පර්ල්” නැවේ සුන්බුන් ගොඩ ගැසිය හැකි ප්‍රදේශ මෙන්න

“එක්ස්ප්‍රස් පර්ල්” නැවේ සුන්බුන් ගොඩ ගැසිය හැකි ප්‍රදේශ මෙන්න

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර හා ස්ථාන හඳුනා ගෙන එම ප්‍රදේශ අන්තරායදායක ප්‍රදේශ ලෙස නම් කරන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස්දී තිබෙනවා .

එමෙන්ම ආරක්ෂක ක්‍රමවේද අනුව අන්තරායකාරී අපද්‍රව්‍ය ගබඩා කිරීමට ස්ථාන 10ක විශේෂ බහාලුම් යෙදවීමට තීරණය කර තිබෙනවා

එම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් හටගෙන ඇති උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ හා යෝජනා මාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කර තිබෙන බවද වාර්තා වනවා

නෞකාවෙන් බැහැරවී මුහුදු වෙරළට පාවී ආ සුන්බුන්, තාවකාලික ගබඩා හෝ බහාලුම්වල තැන්පත් කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු අතර, කාන්දුවීම සිදුනොවන ලෙසට වැලි හෝ ලී කුඩු වැනි ද්‍රව්‍යයක් මත ඇතිරීමේ සුදුසු ක්‍රමවේද භාවිත කිරීමට ක්‍රියා කළ යුතු බවට මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දී තිබෙනවා .

එම සුන්බුන් පිටස්තර පුද්ගලයගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවිය යුතු අතර ප්‍රවාහනය සංවෘත වාහන භාවිත කරමින් සිදුකළ යුතු අතර එහි රියැදුරන් ඇතුළු පුද්ගලයන්ට ආරක්ෂිත උපාංග භාවිත කිරීමද අනිවාර්ය කර තිබෙන බව සඳහන්

වැය වෙන පිරිවැයද අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත යුතු බවටත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් බලපත්‍ර ලබාදී ඇති ආයතන මෙම අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා යොදාගත යුතු බවටත් එම යෝජනා මඟින් අවධාරණය කර ඇති අතර නිසි ආරක්ෂිත උපාංග හා උපකරණ හා නිසි ක්‍රමවේද භාවිත කරමින් අදාළ කටයුතුවල නිරතවිය යුතු බවද යෝජනාවී තිබෙනවා

එමෙන්ම වෙරළ තීරයට ගොඩ ගැසුණු නෞකාවේ අපද්‍රව්‍ය ආරක්ෂිතව ගබඩා කිරීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා

මෙම අන්තරායකාරී අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීමට ලක් කරන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කරන්නේ

පරිසර පද්ධතියේ හා මානව සංහතියේ සෞඛ්‍ය අවදානමට ලක් නොවන පරිදි එම කටයුතු සිදු කෙරෙන බවද සඳහන් කරන වීරසුන්දර මහතා ඒ සඳහා ස්ථාන 10ක බහාලුම් ස්ථාපිත කර ඇතැයි පවසනවා

ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සුන්බුන් මේ වන විට වැලිගම සහ මාතර ප්‍රදේශවල වෙරළ තීරයට ගොඩගැසී ඇති බව වාර්තා වනවා

එමෙන්ම මෙම සුන්බුන් නොරොච්චෝලේ දක්වා පැතිරයන බවයි , සමුද්‍රීය පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් පවසන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This