
එයාර් ඉන්දියා 171 ගුවන් යානය කඩා වැටීමට හේතුවූ ඉන්ධන සැපයුම් පද්ධතියේ ස්විචය ක්‍රියා විරහිත කිරීම හිතාමතා කළ දෙයක් ද?
260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුරට හේතුව යානයේ ඉන්ධන සැපයුම් පද්ධතියේ ස්විචය ක්‍රියා විරහිතවීම බව හෙළිව තිබෙනවා.
ඇතැම් ගුවන්යානා විශේෂඥයන් පවසන්නේ ගුවන් නියමුවෙකු හිතාමතාම ඉන්ධන සැපයුම් පද්ධතියේ ස්විචය ක්‍රියා විරහිත කළ බවට සැකයක් පවතින බවයි.
ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවරයා වන සුමීත් සබර්වාල් මෙන්ම සහාය නියමු වනක්ලයිව් කුන්ඩර් යන දෙදෙනාම පළපුරුදු සහ වෛද්‍යමය වශයෙන් යෝග්‍යව සිටි බවට එයාර් ඉන්දියා සමාගම කරුණු තහවුරු කිරීමත් සමඟ අනතුරට හේතුව කුමක්ද යන්න ජාත්‍යන්තරය තුළ දැඩි ප්‍රශ්නාර්ථයක් බවට පත්වුණා.
ඒ අනුව අනතුරට හේතුව ගුවන් යානයේ යාන්ත්‍රික දෝශයක් බවටයි බොහෝ මත පල වූයේ.
එම හඬ පටයට අනුව, යානය කඩා වැටීමට පෙර ගුවන් නියමුවා අහමදාබාද් ගුවන් පාලක මධ්‍යස්තානය වෙත අනතුරක් සිදුවීමට යන බව දැනුම්දීමට උත්සහා දරා ඇති බවත් පාලක මැදියෙන් යළි පණිවුඩයක් ලැබීමට ප්‍රමාද වූ කාලය අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත් හෙලි වුණා.
ඒ අනුව ගුවන් කාර්මික තාක්‍ෂණවේදය සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයින්ගේද සහාය ඇතිව අනතුරට හේතුව සොයා සිදු කල පරීක්ෂණවලින් තවදුරටත් වැදගත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා.
ගුවන් තාක්ෂණවේදීන් පෙන්වා දෙන්නේ එන්ජිම වෙත ඉන්ධන ප්‍රවාහය පාලනය කරන ස්විචය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන අතර එය භෞතිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින්නේ ගුවන් නියමුවරයාට පමණක් බවයි.
එසේ වුවත් අතිශය විරල ලෙස ඇතැම්විට ඉන්ධන ප්‍රවාහ පාලන ස්විචය අක්‍රීය විය හැකි බවත් ගුවන් විශ්ලේශකයින් පවසනවා.
මේ හේතුවෙන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර ගුවන් යානයේ දත්ත රෙකෝඩරෙයෙන් ලද හඬ පට තුළ එක් නියමුවෙකු විසින් එම ස්විචය පහත දැමුවේ ඇයි දැයි අනෙක් නියමුවාගෙන් කරන විමසීමක් පටිගතවී තිබෙනවා.
එහිදී අනෙක් නියමුවා පවසන්නේ ‘නෑ… නෑ.. මම එහෙම කළේ නෑ..’ යනුවෙන්.
ඒ අනුව අදාල ස්විචය යළි ස්ථානගත කරන අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙම තොරතුරු අනාවරණ වීමත් සමඟ ගුවන් නියමුවා හිතාමතාම එයාර් ඉන්දියා ගුවන් යානය අනතුරට ලක් කර ඇති බවත් ඇතැම් විශේෂඥයින් පවසනවා.
(මෙය ස්වයංක්‍රීයව හෝ විදුලි බිඳවැටීමක් නිසා වෙන්නෙ නැහැ. ඒවා ඇදලා ඉහළට හරි පහළට ගන්න ඕනෙ. ඒ නිසා නොදැනුවත්වම ඒක වෙන තැනකට යන්නේ නැහැ. මේක නම් හිතාමතාම කරන ලද තේරීමක් වෙන්න ඕනෙ. එතකොට තමයි ඒක අක්‍රීය වෙන්නේ.)
කෙසේ වෙතත් ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය පවසන්නේ පවතින තොරතුරු මත පදනම්ව අනතුරට වගකිවයුතු පාර්ශවය කවුරුන්ද යන්න මේ අවස්ථාවේ තහවුරු කිරීමට නොහැකි බවයි.
විමර්ශන වාර්තාවේ ප්‍රගති සටහනට අනුව ගුවන් යානයට ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන බවුසර් සහ ටැංකි වලින් ලබාගත් ඉන්ධන සාම්පලද රසායනාගාර පරීක්ෂාවන්ට ලක්කර ඇති අතර ඒවායේද දෝශයක් නොමැති බව අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම සාක්ෂිකරුවන්ගේ සහ දිවි ගලවා ගත් මගියාගේ ප්‍රකාශ සටහන්ද විමර්ශකයින් විසින් ලබාගෙන ඇති අතර කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කරමින් පවතින බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.