එස්.එම්.රංජිත්ට සහ නැනාට ඇප ඉල්ලා මහාධිකරණයට පෙත්සමක්

එස්.එම්.රංජිත්ට සහ නැනාට ඇප ඉල්ලා මහාධිකරණයට පෙත්සමක්

දූෂණ චෝදනා සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය අභියාචනයට යටත්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම කරුණු සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ අද (31) කැඳවනු ලැබුවා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයින් මේ වන විට අදාල දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ඔවුන් ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 25 වැනිදා පෙත්සම් විභාගයට කැඳවන ලෙස විනිසුරුවරයා එහිදී නියෝග කළා.

එමෙන්ම ඇප ඉල්ලිම සම්බන්ධයෙන් කරුණු ගොනු කිරිමට නඩු ගොනුවේ ඇති ලේඛන කිහිපයක් අවශ්‍ය බව අධිකරණය දන්වා සිටියා.

එම මුල් නඩු ගොනුව මේ වන විට අභියාචනාධිකරණයට යොමු කර ඇති බවත් තම අධිකරණය හමුවේ ඇත්තේ නඩු තීන්දුව පමණක් බවත් පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ එම නඩු ගොනුවේ ඇති අවශ්‍ය ලේඛන අභියාචනාධිකරණයෙන් සහතික කර ලබා ගන්නා ලෙසට ද විත්තියට නියෝග කළා.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ආකාරයට ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම, එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු අතර ඔවුන් දෙදෙනාට කොළඹ මහාධිකරණය ඉකුත්දා බරපතල වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළා.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම් විභාගයට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීතිඥ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය පෙනී සිටියා.

Share This